ගල් අඟුරු ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්. විදුලි බිලට බලපෑමක් නැහැ – ඇමති නලින්ද සහතික කරයි

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ගල් අඟුරු සම්බන්ධව මතුව ඇති ප්‍රශ්නය සම්බන්ධව කරුණු අධ්‍යනය කිරීම සඳහා ප්‍රවීණයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එම කමිටුව සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ගෙන් සමන්විතව සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුක් පත් කිරීමට තීරණය වූ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

කෙසේවෙතත් එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටළුවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

”මේක අලුත් දෙයක්. මේකේ ක්‍රියාවලිය වෙන්නේ මේ ගල් අඟුරු පටවන වරායේදී වාර්තාවක් ගන්නවා. ඒ ගන්නේ පිළිගත් පරීක්ෂණාගාරයකින්. ඒ වාර්තාව අනුව කිලෝ කැලරි 5900ට වඩා වැඩිනම් තමයි ලංකාව භාර ගන්නේ. ඒ අනුව අද වෙනකොට නැව් 10ක් ඇවිත් තියෙනවා ඒ නැව් 10ම ලෝඩ් පෝට් රිපෝට් එක කිලෝ කැලරි 5,900ට වඩා වැඩියි. 5,900ට වඩා අඩු නම් භාර ගන්නේම නෑ. නැවෙන් ඇවිල්ලා ලංකාවේදි ගොඩබෑවාට පස්සේ රිපෝට් එකක් ගන්නවා ඒ ගන්නෙත් පිළිගත් පරීක්ෂණාගාරයකින්. ඒ පරීක්ෂණාගාරයත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරාගත්ත ආයතනයක්. මේ ගල් අඟුරු බෑවාට පස්සේ එතැනින් රිපෝට් එකක් ගන්නවා. අන්න ඒ වාර්තාව කිලෝ කැලරි වාර්තාව 5,900ට වඩා අඩු නම් දෙගුණයක දඩයක් අය කරගන්නවා, කිලෝ කැලරි 5,900- 6,100ත් අතර තිබෙනවා නම් එක ගුණකයක දඩයක් අයකරනවා. මේක තමයි ක්‍රියාවලිය. මීට පිටින් පරිභාරහිර ක්‍රමයක් නෑ. එහෙම තමයි මේ ක්‍රියාවලිය සිදුවුණේ ඉතිං ප්‍රසම්පාදනයේ කිසි ගැටලුවක් නෑ.

මේ අතර පැමිණ තිබෙන නැව් 10න් 08ක ගොඩබෑම් සම්පූර්ණයෙන් අවසන් වී තිබෙන අතර තවත් නැවක ගල් අඟුරු ගොදාබාමින් තිබෙන බවත් නැව් 06ක වාර්තා ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.

”පළමු නැව් තොගය මෙට්‍රික් ටොන් 59,831ක තොගයක්. එහි තිබුණු ගල් අඟුරුවල ප්‍රමිතිය අර කියන ප්‍රමිතියට නොතිබුණු නිසා දඩයක් අය කළා අයකරපු මුදල ඩොලර් මිලියන 2.07ක්. ඉතිරි නැව්වලදි දෙවැනි නැවට ඩොලර් 436,001ක්, තුන්වැනි නැවට ඩොලර් 484,929, හතරවැනි නැවට ඩොලර් 345,652, පස්වැනි නැවට ඩොලර් 500,192, හයවැනි නැවට ඩොලර් 510,677ක් ලෙස දඩ මුදල් අයකරගෙන තිබෙනවා. අර අපේ පිරිවිතරයන් ඒ කියන්නේ 5,900 – 6,100ත් අතර තිබෙන. ඒවා භාවිතා කරනවා නමුත් ඒ අතර තියෙන නිසා එක් දඩ මුදලක් අයකරගෙන තිබෙනවා. මේ පරීක්ෂණ වාර්තාවල ඇතිවන තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් සහ ඇතිවෙලා තිබෙන පාඩුව ගණනය කිරීම සඳහා ඒ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන්න මොරටවුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පියවර අරන් තියෙනවා. ප්‍රතික්ෂේප කරන අවස්ථා දෙකක් තියෙනවා. පැටවුම් වරායේදී කිලෝ කැලරි 5,900ට වඩා අඩු නම් කොහොමත් ප්‍රතික්ෂේප කරනවා. නමුත් එහෙම දෙයක් වෙලා නෑ. ලංකාවෙන් ගොඩබෑමෙන් අනතුරුව පරීක්ෂා කළාම ඒ තිබෙන වාර්තාවල කිලෝ කැලරි 5,900ට වඩා අඩු නම් එතකොට තමයි දෙගුණයක් අය කරන්නේ. 5,900- 6,100ත් අතර නම් දඩ මුදලක් අයකරනවා නමුත් ඒක රිජෙක්ට් කරන්න අවශ්‍යතාවයක් නෑ. දැන් වෙලා තිබෙන්නේ පළවෙනි නැවේ පමණයි කිලෝ කැලරි 5,900ට අඩු තත්ත්වයක් වාර්තා වෙලා තිබෙන්නේ එය පමණයි ප්‍රතික්ෂේප කරන ගණයට අයත් වෙන්නේ. එවැනි නැව් දෙකක් සිදුවුණොත් පමණයි එවැනි තත්ත්වයක් ගැන සලකා බලන්නේ. දැනට තිබුණ තත්ත්වය අනුව පළවෙනි නැවෙන් පස්සේ ආපු නැව්වල එහෙම වෙලා නෑ.

පැටවීමේදී නිසි ප්‍රමිතියෙන් තිබීම මෙන්ම ගොඩ බෑමේදී එසේ නොවීම සිදුවිය හැකි දෙයක් වුවත් එය තවදුරටත් අධ්‍යයනය කිරීම වෙනුවෙන් අදාළ කමිටුව පත්කරන බවයි නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් සඳහන් කළේ. අදාළ පරීක්ෂණාගාර දෙකම රජය විසින් තෝරාගත් ඒවා නොවන අතර ඒවා ලොව පිළිගත් ආයතන බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

පවතින ප්‍රශ්නගත තත්ත්වය මත විසුලි බිලට ඉන් බලපෑමක් සිදුවු ඇත්ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ,
”කිසිසේත්ම ජනතාවගේ කරපිටින් යන්න හේතුවක් නෑ මෙවැනි ගනුදෙනුවලදී සැපයුම්කරු මත තමයි ඒ පාඩුව යොදවන්නේ. සැපයුම්කරු තමයි පාඩුව දරාගන්න ඕනේ. මේ කිසිදු නැවක් පාවිච්චියෙන් බැහැර කරන්නේ නෑ. එතැනදි ලැබෙන ක්‍රියාවලියේදී තිබෙනවා නම් දෝෂයක් ඒකට තමයි පිළියම් යොදන්න ඕනේ. තව නැව් 15ක් එන්න නියමිතව තිබෙනවා ලබා දී ඇති කාලය අනුව. ඒ නැව් 15 එන්න පුළුවන්. මේ පාඩුව ජනතාව මත පැටවීමේ අවශ්‍යතාවයක් රජයට නෑ. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව මේ ගල් අඟුරුත් එක්ක කිසි සම්බන්ධයකුත් නෑ. ඒ වගේම රජයට අයත් මහජන උපයෝගීතා කොමිසම තමයි අවසාන තීරණය ගන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

The post ගල් අඟුරු ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්. විදුලි බිලට බලපෑමක් නැහැ – ඇමති නලින්ද සහතික කරයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here