ගල්අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් වංචාවක් සිදුව තිබෙන්නේ නම් විදුලි බල ඇමැති කුමාර ජයකොඩි ඉවත් කිරීමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට බවත් මෙය ආණ්ඩුවේ පාරිශුද්ධභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
ප්‍රශ්නගත ගල්අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (05) පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්විය.
මෙහිදී අදහස් දක්වා සිටි එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ ගල්අඟුරු නැව් දෙකක් ප්‍රමිතියෙන් තොර වූ විට ටෙන්ඩරය අවලංගු වන බව ටෙන්ඩර් ගිවිසුමේ තිබියදීත් එම ඇණවුම පවත්වාගෙන යන බවත් එම ගල්අඟුරු ගෙන්වන සමාගමට වාසි සැලසෙන සේ, රජය ගිවිසුම උල්ලංඝනය කරමින් හදිසි මිලදී ගැනීම්වලට අනුමැතිය ලබාදී තිබෙන බැවින් මෙම මුළු ක්‍රියාවලියම සැක සහිත බවත්ය.
එහිදී හෙතෙම මෙසේ ද පැවැසුවේය
”ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ගල්අඟුරු අර්බුදය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වල බරපතළ වැරැදි තිබෙනවා. මේ සමහර අසත්‍ය කරුණු මීට සතියකට දෙකකට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා, ඒවා බොරු බව තහවුරු වූ පසුව අතහැර ඇති කරුණු. විදුලිබල ඇමැතිවරයා මේ සම්බන්ධ අලුත් කරුණු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට ලබාදී නැති නිසා ප්‍රධාන ලේකම්වරයා යාවත්කල් නොවීමක් පෙන්නුම් කරනවා. ඔහු පැවසුවා මීට පෙර ටෙන්ඩර් නොකැඳවා දේශපාලනඥයකුගේ සමාගමකින් අධික මිලට ගල්අඟුරු මිලදී අරන් තිබෙනවා කියලා. එය වැරැදියි. 2008 දී ලක්විජය බලාගාරය ආරම්භ කිරීමෙන් පසුව අද දක්වා සෑම වසරකම ටෙන්ඩර් කැඳවා අවම මිල ඉදිරිපත් කළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදී තිබෙනවා. 2023දී ටෙන්ඩර් නොකැඳවූ බව ප්‍රධාන ලේකම්වරයා එම සංවාදයේදී කිව්වා. විදුලි ඇමැතිත් මුලින් ඔහොම කියලා අපි ටෙන්ඩර් දැන්වීම් පෙන්වූවාට පසුව එය පැවසීම නතර කළා.
දැන් ඇමැති කියන්නේ තමන් ටෙන්ඩර් පිරිවිතර වෙනස් නොකළ අතර 2023 ටෙන්ඩර් පිරිවිතර එලෙසම පවත්වාගෙන ආ බව. එම කරුණත් වැරැදියි. 2023දී එවැනි පිරිවිතර වෙනස් කිරීමක් දකින්නට නැහැ. නමුත් ටිල්වින් සිල්වා කියන ආකාරයට 2023 ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවුණානම් කුමාර ජයකොඩි කියන ආකාරයේ ටෙන්ඩර් පිරිවිතර 2023දී ප්‍රකාශයට පත්වුණේ කොහොමද? මේ දෙදෙනා කියන කරුණු එකිනෙකට පරස්පරයි. ප්‍රධාන ලේකම්වරයා කරුණු අතින් යාවත්කාලීන වෙලා නෑ. 2023දී ටෙන්ඩර් කැඳවූවා. ටෙන්ඩරය ලැබුණේ කොරල් එනර්ජි කියන සමාගමට. ඔවුන්ට නිසි කාලයට සැපයුම් කරන්න බැරිවූ නිසා බ්ලැක් සෑන්ඩ් නම් සමාගමකට සැපයුම භාර දුන්නා. 2024දී ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශයත් වැරැදියි. ටෙන්ඩර් කැඳවීමේදී අඩුම මිලගණන් ඉදිරිපත් කළ සමාගමට වඩා අඩු මිලක් පොටෙන්ෂියා නම් සමාගමක් ඉදිරිපත් කර තිබුණා. ඉන් පසුව තාක්ෂණික ඇගයුම් කමිටුව ප්‍රසම්පාදන කමිටුවේත්, ප්‍රසම්පාදන කමිටුව කැබිනට් මණ්ඩලයේත්, කැබිනට් මණ්ඩලය නීතිපතිවරයාගේත් අනුමැතිය මත මිල අඩු සමාගමෙන් ගල්අඟුරු මිලදී ගෙන තිබුණා. එම ක්‍රියාවලිය ගැන යම් සැකයක් තිබේනම් විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගත හැකියි.
ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශය සත්‍යයෙන් තොරයි. ඇමැතිවරයා අදාළ නීතිමය පිළිවෙළට ටෙන්ඩර් කැඳවා ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු නැති බව ජවිපෙ ලේකම්වරයා කියනවා. මේ ගැන ප්‍රශ්න රාශියක් අප මුල පටන් කිව්වා. ටෙන්ඩර් කැඳවීම මාස 4ක් ප්‍රමාද කළා. ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළා. ටෙන්ඩර් කාලසීමාව අඩකින් අඩු කළා. ඒ සඳහා හේතුව ලෙස හදිසියක් ගැන කියා ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී කිසිදු හදිසියක් නැතිව සති හයක් ප්‍රමාද කළා. බාල ගල්අඟුරු ගෙන්වූ විට සමාගම ආරක්ෂා කරන්න රසායනාගාර වාර්තා සැඟවූවා. තමන් වංචාවක් කළ බව පිළිගන්නේ නැතිනම් ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු නෑ. නමුත් එවැනි වංචාවක් සිදුව ඇත්දැයි ස්වාධීන විමර්ශනයක් සිදුකළ යුතුයි.’’
Saru News










