ගර්භනී කාලයේ ලිංගික එකතුවීම් හානිකරද?

0
11


ගර්භනී කාලයේ ලිංගික එකතුවීම හානිකරද නැතිද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක්. කළලයට හානි වේ යැයි බියෙන් බොහෝ දෙනා එයින් මිදෙන්නට තැත් කරනවා. මෙහි විද්‍යාත්මක පදනම කුමක් ද යන්න අද අපි විමසා බලමු.

ඔබේ වෛද්‍යවරයා ඔබට සහකරුවා සමඟ ලිංගික සබඳතා පැවැත්වීම අවදානම් බව පැවසුවේ නැතිනම් ඔබට කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැහැ. ඔබේ ගර්භනී තත්ත්වය සාමාන්‍ය නම් – අවදානම් අවස්ථාවලින් තොරයි නම්, ලිංගික එකතුවීමක් හෝ සුරතාන්තයකට පත් වීමක් දරු ගැබට කිසිම ආකාරයක හානියක් සිදු කරන්නේ නැහැ.

ගර්භනී කාලයේ දී කාන්තා සිරුරේ හෝමෝන වෙනස්වීම් රැසකට භාජනය වනවා. එහිදී සමහරුන්ට ලිංගික ආශාව ඉහළ යන අතර සමහරුන්ට එසේ වන්නේ නෑ. ඔබේ ලිංගික ආශාව සාමාන්‍ය පරිදි ම වෙන්නත් පුලුවන්. එහෙත්, ඔබ දරුගැබක් දරා සිටීම නිසා ලිංගික එකතුවීමකදී සැලකිලිමත් විය යුතු දේවල් තිබෙනවා.

ඔබේ පෙර පැවති ලිංගික ආශාවන් ගර්භනී වූ පසු වෙනස් වන්නට ඉඩ තිබෙනවා. එය පැහැදිලි ව හා ආදරණීය ව සහකරුවා සමග කතා කිරීම ඔබ දෙදෙනාටම පහසුවක්.

හෝමෝන වෙනස්වීමත් සමග ඔබේ ලිංගාශ්‍රිත ප්‍රදේශ වියළීමකට ලක් ව තිබිය හැකියි. ලිංගික එකතුවීමකට කොතරම් පූර්ව සූදානමක් සිදු කරත් එය නොවෙනස්විය හැකියි. සරල ම විසඳුම වන ලිහිසි ද්‍රව්‍යයක් තෝරා ගැනීම ඔබේ අපහසුතා දුරලනවා.

ගර්භනී කාලයේ ලිංගික එකතුවීම් සාමාන්‍යයි. එහෙත් ඔබ දරුවෙක් කුස දරාගෙන සිටීම නිසා තරමක් සැලකිලිමත් විය යුතුයි. කුස මත පීඩනයක් නොයෙදෙන ඕනෑම ඉරියව්වක් ඔබට උත්සාහ කර බැලිය හැකියි. කුස තද වන, පීඩාවට පත් වන ඉරියවු අනිවාර්යයෙන් භාවිතා නොකළ යුතුයි.

ලිංගික ව එකතු වීමේදී නිතරම ඔබේ සිරුරට ඇහුම්කන් දෙන්න. කුඩා හෝ අපහසුතාවක් දැනෙන විට ඉන් මිදෙන්න. කොට්‍ටා, සුවපහසු මෙට්ටා ආදිය භාවිත කිරීමෙන් අපහසුතා මගහැරගන්න පුලුවන්.

දිගු වේලාවක් උඩුබැලිව හිඳීමෙන් ඔබට ක්ලාන්තය වැනි අපහසුතා ඇතිවන්නට පුලුවන්. විශේෂයෙන් තුන් වන කාර්තුවේදී ඔබ මේ පිළිබඳ ව සැලකිලිමත් විය යුතුයි. ඉරියවු පිළිබඳ ව වඩාත් සැලකිලිමත් වීම සිදු කළ යුතුයි.

සමහර අවස්ථාවල ඔබේ වෛද්‍යවරයා ඔබට ලිංගික ව එකතු වීමට සීමා පනවනවා. ඒ සම්පූර්ණ කාලය පුරාමත් මුල් මාස කිහිපය පමණක් වුවත් විය හැකියි. එවන් අවස්ථාවල වෛද්‍යවරයාගේ උපදෙස් අකුරටම පිළිපැදිය යුතු වෙනවා. එසේ ලිංගිකව එකතු නොවිය යුතු යැයි වෛද්‍යවරයා තීරණය කරන අවස්ථා මොනවාදැයි අපි බලමු.

වැදෑමහ අවශ්‍ය පරිදි නොතිබී සමහර අවස්ථාවල පහතින් පිහිටීම වැනි සංකූලතා දක්නට හැකියි. මෙවන් අවස්‍ථාවලදී ලිංගික සබඳතා පැවැත්වීම සුදුසු නැහැ.

ගැබ්ගෙල කෙටි වී ඇතැයි ඔබේ වෛද්‍යවරයා හඳුනාගෙන ඇත්නම් ඔබට ලිංගික සබඳතා නොපවත්වන ලෙසට උපදෙස් ලැබෙනවා.

නොමේරූ දරු උපතක් සඳහා විය හැකියාවක් ඔබට ඇත්නම් ලිංගික සබඳතා නොපැවැත්වීමට ඔබට උපදෙස් ලැබෙනවා. එමෙන් ම, පෙර දී ඔබට නොමේරූ දරු උපතක් සිදු වී තිබීමත් මේ සඳහා බලපානවා.

ගබ්සා වීමේ අවධානමක් ඇතැයි හඳුනා ගැනුන විට දී ඔබ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සුදුසු නැහැ. ඔබේ ගර්භනී ඉතිහාසයේ ගබ්සා වීම් තිබේ නම් එයත් මේ සඳහා බලපානවා.

ඔබේ සහකරුවා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකින් පෙළෙන්නේ නම් ඔබ කිසි සේත් ගර්භනී සමයේ ලිංගික සබඳතා පැවැත්වීම සුදුසු නැහැ.

ගර්භනී කාලය තුළ රුධිර වහනයන්, අභ්‍යන්තර වේදනාවන් අත්විඳ තිබේ නම් ඔබට ලැබෙන උපදෙස වන්නේ ද ලිංගික සබඳතා පැවැත්වීම සුදුසු නොවන බවයි.

අප පෙර පැවසූ ආකාරයට ගර්භනී සමයේ දී විශාල වශයෙන් හෝමෝන වෙනස්වීම් රාශියකට කාන්තාව මුහුණ දෙනවා. එහිදී ඔබට මුලු ගර්භනී කාලය පුරාම වුවත් ලිංගික ආශාවන් නොමැති වීම වුවත් ඉතා සාමාන්‍යයි. සමහරුන්ට එය මුල් මාස කිහිපයේ පමණක් අඩු වී යනවා ද දක්නට පුලුවන්.

ගර්භනී සමයේ ලිංගික එකතුවීම් සාමාන්‍ය තත්ත්වය යටතේ අනාරක්ෂිත වන්නේ නැහැ. ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් සහිතව ඔබට ඔබේ ලිංගික ජීවිතය සාමාන්‍ය පරිදි ම පවත්වා ගෙන යන්නට පුලුවන්. එහෙත් අවශ්‍ය වූ ඕනෑම විටක නොපැකිලී වෛද්‍ය උපදෙස් ලබාගැනීම කළ යුතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here