ගර්භනී අම්මා කෙනෙක්ට ආහාර වේලක් දෙනවිට සැලකිලිමත් විය යුතු ම දේවල්

0
11


අපේ ලාංකික සංස්කෘතිය ඇතුළේ ගර්භනී මවකට හිමිවන්නේ සුවිශේෂී තැනක්. යාලුවෙක් හරි නෑදෑයෙක් හරි සමහර වෙලාවට වැඩිය නොදන්න කෙනෙක් වුණත් ගර්භනී වුණාම අපි කෑම එකක් හදලා දෙන්න බලාගෙනනේ ඉන්නේ. ඒ කාලෙට එන අපහසුතා එක්ක ගෙදරින් කනවට වඩා කාගෙන් හරි ලැබෙන කෑම එකක වටිනාකම අමිලබව ගර්භනී වුණාම කන්න බැරි වුණ අය නම් දන්නවා. ඉතින් අපි අද කතා කරන්නේ ගර්භනී මවකට ආහාර වේලක් දෙනකොට සැලකිලිමත් විය යුතු ම දේවල් ගැන.

ගර්භනී මවක් කියන්නේ ම ජීවිත දෙකක්. ඉතින් අපි එයාට ආහාර වේලක් දෙනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් රාශියක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ කාලෙදි බොහෝ දේවල්වලට අධි සංවේදී වීම නිසා අසාත්මිකතා ආදිය වැළඳීමේ ඉඩකඩ වැඩි වීම.

මුලින් ම එයා එක්ක කතා කරන්න.

ගර්භනී වුණා ම එක එක්කෙනාට කන්න පුළුවන් දේවල් වෙනස් බව ඔබ දන්නවා. සමහර අයට ඇඹුල් කන්නත් සමහර අයට සැර කන්නත් සමහරුන්ට පැණිරස කන්නත් ආස හිතෙනවා. සමහර අයට මස් මාලු කන්න හිතෙන්නේවත් නෑ. ඉතින් ඔබ ආහාර වේලක් දෙන්න යන ගර්භනී අම්මා ආසම මොනවටද කියලා අහන්න. ඒ විදියට මෙනු එක තෝරගන්න.

පිරිසිදුබව අගයන්න.

මේ ආහාර වේල වෙනදාටත් වඩා පිරිසිදුව හදන්න කල්පනාකාරී වෙන්න. සත්තු වැටෙන්නෙ නැති වෙන්න හරි ම පිරිසිදු ව හදලා දෙන්න. අසාත්මිකතා වගේ ම අජීර්ණ තත්ත්වයන් වුණත් අපිරිසිදු ආහාර නිසා හැදෙන්න පුළුවන්. ඉතින් පිරිසිදුබව ගැන සැලකිලිමත් වෙන්න ම ඕනෙ ඒ නිසා.

තෙල්, මිරිස් අඩුවෙන් දාන්න.

එයා කැමති මොන රසට වුණත්, සෞඛ්‍යාරක්ෂිත විදියට උයන එක ඔබේ වගකීම. ගර්භනී කාලෙදි හරි ම ඉක්මනින් ගෑස්ට්‍රයිටීස් තත්ත්වය වගේ ම අධික වමනය ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා තෙල්, මිරිස් දානකොට ඉතා ම කල්පනාවෙන්. රස වෙන්න ඕනෙ වගේ ම සෞඛ්‍යාරක්ෂිත වෙන්න ඕනෙ බවත් මතක තියාගන්න. කුළුබඩු වුණත් අවශ්‍ය ම ප්‍රමාණයට පමණක් දාන්න.

උණුවෙන් ගෙනියන්න.

උණුවෙන් කෑම එක පිළිගන්වන්න විදියක් බලන්න. උණුසුම් බඳුන් ඇත්නම් මේ සඳහා වඩාත් හොඳයි. අසුරන බඳුන් වුණත් හොඳින් සෝදා තද අව්වේ වේලීමෙන් පසු පාවිච්චි කරන්න.

අසාත්මිකතා ඇති වෙන ආහාර ගැන දැනුවත් වෙන්න.

අසාත්මිකතා ඇතිවෙන ආහාර එයාගෙන් අහලා දැනගන්න. කලින් අසාත්මිකතා ඇති වුණ ඒවා වගේ ම, සාමාන්‍යයෙන් ඔබ අසා තියෙන අසාත්මිකතා ඇති වෙන තක්කාලි, අන්නාසි, ඉස්සො වගේ ආහාර හදනවා නම් ඒ ගැනත් ඉතා ම සැලකිලිමත් වන්න.

ආහාර ගැනීමේ අපහසුතා තියෙන කෙනෙක් වන ගර්භනී අම්මෙක්ට ආහාර වේලක් දෙන එක ඉතා ම හොඳ දෙයක්. වගකීමක් ඇතුව ඒ ආහාර වේල දෙන්න අපි පුරුදු වෙමු.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here