ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

0
3


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසු වූ සැකකරුවන් දෙදෙනෙකු අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂක විධිවිධාන මැද සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළට අද ඉදිරිපත් කළා.  

සැකකාර වෙඩික්කරු බව කියන පුද්ගලයා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සමිදු දිල්ෂාන් පියුමංග නැමති සැකකාර වෙඩික්කරු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළා. 

එම සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් නමැත්තා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් බන්ධනාගාරය තුළදී එම සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව එම නියෝග නිකුත් කළා.                        
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here