කෝපි හොඳ බොන්න විතරයි ද ?

0
10


වේලාගත් කෝපි ශාකයේ ඇට අවුරුදු සිය ගණනක ඉඳන්ම පානයක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල ජනප්‍රියයිනෙ. 

අද වෙද්දි උණුසුම් සහ සීතල පානයන් ලෙස අපි කෝපි රසවිඳිනව වගේම කෝපි එක්කර සාදන පුඩිං සහ කේක් වගේ කෑම වර්ගත් හරිම ජනප්‍රියයි.  

නමුත් මීට එහා ගිය තවත් බොහෝ ප්‍රයෝජන කෝපි වලින් ලබා ගන්න පුළුවන් කියල ඔබ දැනන් හිටියද? 

එහෙනම්, අපි බලමුකො ඒ මොනවද කියල? 

සමේ ඇති කුණු දුහුවිලි ඉවත් කරන්න, හොඳ රුධිර සංසරණයක් ලබා දෙන්න, ඉදිමුණු ස්වරූපය නැති කරන්න වගේම වයස්ගත ලක්ෂණ අඩු කරන්න කෝපි කුඩු සහ යෝගට්, මී පැණි වැනි වෙනත් අමුද්‍රව්‍ය මිශ්‍රකර සෑදූ ස්ක්‍රබ් (scrub) සහ මාස්ක් (mask) වර්ග වලට පුළුවන්. 

කෝපි කුඩු වල අඩංගු ස්වභාවික තෙල් සහ ඇසිඩ් වලට පුළුවන් ගෘහ භාණ්ඩ වල තියෙන කුණු සහ දුහුවිලි ඉවත් කරන්න.

වතුර සහ කෝපි කුඩු එක්කර සාදාගත් මිශ්‍රණයක් රෙදි කැබැල්ලකින් ගෘහ භාණ්ඩ මත ආලේප කර හොඳින් අතුල්ලා වෙනත් පිරිසිදු රෙදි කැබැල්ලකින් කෝපි මිශ්‍රණය පිරිසිදු කර ඉවත් කරගන්න ඔබට පුළුවන්. 

සතුන්ගේ ගඳ හෝ වෙනත් තද ගඳවල් ඉවත් කරන්න කෝපි කුඩු වලට පුළුවන්. 

කෝපි කුඩු ස්වල්පයක් ගඳ එන ප්‍රදේශයේ තැනින් තැන ඉස රැයක් එළිවෙන තුරු තැබීමෙන් මේ තද ගඳවල් ඉවත් වී ඇතිබව ඔබට දැනගන්න පුළුවන්. 

කෝපි කුඩු ඔබේ නිවසේ වාතාශ්‍රය පිරිසිදු කර නැවුම් බවක් ලබාදෙන්නෙ ඒ විදිහටයි. 

කෝපි කුඩු වල නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් වැනි ශාකවලට අත්‍යාවශ්‍ය පෝෂක පිරී පවතිනව. 

කෝපි කුඩු ස්වල්පයක් මිශ්‍ර පස් රෝස, බ්ලූබෙරි, එළවළු වර්ග සහ කොළ වර්ග වලට යෙදීමෙන් ශාක හොඳින් වර්ධනය වීමටත් මල් සහ ගෙඩි ලබාදීමටත් උදව් වෙනවා. 

කුස්සියෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ඇතුළු දිරාපත් වෙන අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි ඒවාගෙන් කොම්පෝස්ට් පොහොර සෑදීම. 

මේ අපද්‍රව්‍ය සමඟ කෝපි කුඩු ටිකක් මිශ්‍ර කිරීමෙන් මේ කොම්පෝස්ට් පොහොර සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරගන්න පුළුවන්. 

කුස්සියේ වැඩ වලින් පසුව දෑත් වල ඉතිරි වෙන සුදුළූණු සහ මාළු වැනි තද සුවඳවල් ඉවත් කර ඔබේ දෑත් වල නැවුම් සුවඳක් ලබාදෙන්න කෝපි කුඩු වලට පුළුවන්. 

කෝපි කුඩු ටිකක් සමඟ ඔබේ දෑත් සෝදල බලන්නකෝ. වෙනස ඔබටම දැනේවී. 

කෝපි පිළියෙල කර ඉතිරි වූ කෝපි කුඩු දැමූ විවෘත බඳුනක් ඔබේ ශීතකරණයේ තැබීමෙන් මාළු, එළවළු වැනි ශීතකරණයේ ඇති වෙනත් සැර සුවඳවල් ඉවත්කර නැවුම් සුවඳක් ලබාගන්න ඔබට පුළුවන්. 

හිසකෙස් වලට දිදුළන, මෘදු සහ පිරුණු පෙනුමක් ලබාදෙන්න කෝපි වලට පුළුවන් වගේම හිසකෙස් වැටීම පාලනය කරන්නත් පුළුවන්.

මේ සඳහා කෝපි සහ උණු වතුර එක්කර සෑදූ මිශ්‍රණයක් නිමෙන්නට තබා හිසේ ආලේප කර හොඳින් සම්බාහනය කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න. 

අහළ පහළ නිවාස වල එහෙමත් නැත්නම් වීදිවල සැරිසරන පූසෝ ඔබේ ගෙදරත් එනවද? 

මළ මුත්‍රා කිරීම, කෑම හොරෙන් කෑම සහ අපවිත්‍ර කිරීම වගේ ගැටළු ඔබටත් තියෙන්න පුළුවන්. 

ඔවුන් නිවසට ඇතුළුවෙන ස්ථානවල සහ මළ මුත්‍රා කරන තැන්වලට කෝපි කුඩු ටිකක් ඉසීමෙන් මේ පූසන් පළවා හරින්න ඔබට පුළුවන්. 

මොකද පූසො කෝපි කුඩු සුවඳට වලට බයක් පෙන්වන නිසයි. 

ඉතිං බලන්නකෝ කෝපි කුඩු ටිකකින් කොයිතරම් ප්‍රයෝජනයක් අපිට ලබාගන්න පුළුවන් ද කියල.

මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල අපි විශ්වාස කරනවා. 

තවත් මෙවැනිම වැදගත් ලිපියකින් අප නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here