මත්පැන් නිෂ්පාදන ආයතන පහකින් හිඟ සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හයසිය තිස්තුන්කෝටි හැත්තෑපන් ලක්ෂ අනූහය දහස් හත්සිය එකක මුදලක් (6,337,596,701) ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා වන විට රජයට අයවීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.
වසර පහක පමණ වැඩි කාලයක සිට හිඟ සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු අය වීමට තිබූ බව ද මෙකී වාර්තාවේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ආයතනයෙන් අයවිය යුතු රුපියල් එකසිය දාහත් කෝටි දශලක්ෂ තුන්දහස් අටසිය විසිහතක මුදල (1,171,003,827) සහ වයඹ ස්ප්‍රිතු තොග ගබඩාවෙන් අයවිය යුතු රුපියල් විසිඅටකෝටි අනූහතරලක්ෂ අටදහස් පන්සිය අනූහතරක (289,408,594) මුදල අය කර ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු සිදුකරමින් පවතින බවය.
එමෙන්ම වයඹ ඩිස්ටලරිස් ආයතනයෙන් අයවිය යුතු රුපියල් පනස්හත් කෝටි හැත්තෑ තුන්ලක්ෂ අනූඑක්දහස් හත්සිය පනස් අටක් (577,391,758) අය කර ගැනීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනුකොට ඇති බවත් එම නඩුවේ තීන්දුව අනුව ඉදිරි කටයුතු සිදුකරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව විගණනයට සඳහන් කර ඇත.
එමෙන්ම මැකලම් බෲවරි ආයතනයෙන් අයවිය යුතු රුපියල් හැටඑක්කෝටි අනූනව ලක්ෂ හැටහතර දහස් අටසිය දෙකක මුදල (619,964,802) අය කර ගැනීම සඳහා නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් එම නඩුවේ තීරණය අනුව ඉදිරි කටයුතු සිදුකරන බව විගණනයට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. මෙන්ඩිස් සමාගමෙන් අයවිය යුතු තුන්සිය හැටහත් කෝටි අනූ අට ලක්ෂ විසිහත් දහස් හත්සිය දාහතක මුදල (3,679,827,717) අය කර ගැනීමට නීතිමය කටයුතු ආරම්භ කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කර ඇත.
ලලිත් චාමින්ද
Saru FM Media