ආයතනයක මුදල් බැංකුගත කිරීමේ නිලධාරියා ලෙස සේවය කළ අයකු පිටස්තර පුද්ගලයන් අට දෙනකුගේ ද සහායෙන් සැලසුම් කළ රුපියල් කෝටි තුනක මුදල් වංචාවක් පිළිබඳව එම ආයතනය මෙතෙක් පොලිසියට පැමිණිලි නොකිරීම ගැටලුවක් බැවින් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුගිය 22 දා සවස කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් පෑලියගොඩ නාරම්මිණිය මාර්ගයේ ක්ෂේත්‍ර රාජකාරියේ නිරතව සිටියදී ධාවනය වූ සැක කටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේ රථයේ පසුපස අසුනේ සිටි මගියා සන්තකයේ තිබූ ගමන් මල්ලක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් එහි තිබී රුපියල් ලක්ෂ තිහක (3,000,000) මුදල් පාර්සලයක් සොයා ගෙන ඇත.
පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ප්‍රකාශය මත තවත් සැකකරුවකු කඩවත රම්මුතුගල ප්‍රදේශයේදී ද එක් සැකකාරියක කැලණිය බියගම පාරේ පට්ටිය ප්‍රදේශයේ ඇය පදිංචි නිවසේදී ද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් තිදෙනාම සතුව තිබූ රුපියල් දෙකෝටි හැටහත් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම මුදල් මංකොල්ලයට ආධාර අනුබල දුන් සැකකරුවන් හත්දෙනකු සහ එක් සැකකාරියක ඇතුළු අටදෙනා පසුගිය 23 දා කොළඹ අලුත්කඩේ අංක පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙම මංකොල්ලය සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ගත් ත්‍රිරෝද රථය සමග යතුරුපැදියද සහ මුදල් ද පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම සැකකරුවෝ කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, කඩවත, මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් කණ්ඩායමක් ලෙස සංවිධානය වී ආයතනයේ මුදල් බැංකුගත කරන්නාගෙන් ලද උපදෙස් අනුව මෙම මුදල් මංකොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ. කාලිංග ජයතිස්ස, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංග, කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල සඳනුවන් යන නිලධාරීන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කොඩිකාර, පොලිස් සැරයන් (73251) ජයලත්, පොලිස් කොස්තාපල්වරුන් වන (68475) කුමාර, (36122) තිලකරත්න, (25120) රාජසිංහ, (34563) ප්‍රනාන්දු, (101946) උමේෂ්, (105111) ලෝකේෂ්වරන්, කාන්තා පොලිස් කොස්තාපල් (12271) ශෂිකලා, පොලිස් කොස්තාපල් රියැදුරු (105548) මධුශංක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය -මංගලා මදුරප්පෙරුම
Saru FM Media
 
            
