කොළොන්නාවේ ගං වතුර පාලනයට විශේෂ ව්‍යාපෘතියක්

0
2

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජල ගැලීම්වලට ලක්වන ප්‍රදේශ ජල ගැලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා සිව් අවුරුදු විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 

ඒ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගිනි.  

ඒ අනුව කොළොන්නාව ආසනයේ ග්‍රාම සේවා වසම් 46න් ගංවතුරින් ආනාරක්ෂිත ලෙස හඳුනාගෙන ඇති ග්‍රාම සේවා වසම් 35ක් ඇතුළත්ව ගංවතුර නිවාරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 

මේ සඳහා රුපියල් මිලියන 10,000ක මුල්‍ය ප්‍රතිලාභ වෙන්කිරිමට අපේක්ෂා කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.  

වර්ග කිලෝමීටර් 17ක වපසරියක ගංවතුරින් බලපෑමට ලක්වන පවුල් 40,000ක් මෙම ව්‍යාපෘතියේ ඍජු ප්‍රතිලාභීන් වෙති.

වැසි ජලය මෙන්ම, වැසි ජලය හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුර තත්වයෙන් නිරන්තර බලපැමට ලක්වන ප්‍රදේශ වලට තිරසර විසඳුම් ලබාදීමට 2018 වසරේ ගංවතුර පාලන ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. 

මුල්‍ය අර්බුද, රාජ්‍ය ආයතන අතර පැවති අවම සම්බන්ධීකරණය සහ ව්‍යාපෘතිවල අසාර්ථක බව ඇතුළු විවිධ හේතු මුල් කර ගෙන මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂි ප්‍රතිඵල නොලැබී අවම ක්‍රියාකාරිත්වයේ පැවතිණි. 

2018 වසරේ ආරම්භ කළ ව්‍යාපෘතියේ දෝෂ සහිත හා ප්‍රතිලාභ අවම සැලසුම් සංශෝධනය කර, බහු විධ ප්‍රතිලාභ සැලසෙන නව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ගංවතුර තත්ත්ව වර්ගීකරණයන්ට අනුව සුළු ගංවතුරත්, මහ ගංවතුර තත්ත්වයටත්  ලක්වන ජනතාවට ස්ථිර විසඳුම් නොඅඩුව ලබා ගත හැකි පරිදි මහජන අදහස්, සැලකිල්ලට ගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ගංවතුර පාලන ව්‍යාපෘතිය යටතේ ජලපාලන ගේට්ටු පද්ධති නවීකරණයක්, ජල රැඳවුම් පොකුණු ස්ථාන ගත කිරීමක්, ජල රැඳවුම් ප්‍රදේශ සංරක්ෂණය කරමින් ඒ අශ්‍රිත අවිධිමත් ඉදිකිරීම් ඉවත් කිරීමත්, පහත් බිම්, වගුරු බිම් සංරක්ෂණයත්,ඇල මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණයත්, ජල මාර්ගවලට කැලි කසළ බැහැර කිරීම නතර කිරීමත්, කාණු පද්ධති පුළුල් කිරීමත් සිදු කරමින් ජලාපවාහන රටාව විධිමත් කිරීමට කටයුතු මේ යටතේ කටයුතු කෙරේ.

ව්‍යාපෘතිය යටතේ දඬුතොට ඇල, චිත්තම්පහුව ඇල, සැලලිහිණිමාවත ඇල, දහම්වෙල ඇල, පස්වැන්න ඇල ප්‍රතිසංස්කරණයට යෝජනා වී ඇත. ඒමෙන්ම තුප්පාවල, කොටිකාවත්ත, බැලගම, ප්‍රදේශවල  ජල රැඳවුම්  තටාක ඉදිකිරීමත් සැලසුම් කෙරේ. 

එමෙන්ම ගුරුත්වාකර්ෂණයට අනුව කැලණි ගඟට ජලදහරා අවශෝෂණයට සුදුසු පරිදි පරිසර පද්ධතියට සංරක්ෂණයට පියවර ගනු ඇත. 

කොළොන්නාව ගංවතුරට විශාල වශයෙන් බලපෑම් එල්ල කර ඇති අනවසර ඉදිකිරීම් සහ අනවසර ගොඩකිරීම් පිළිබඳ තොරතුරු 011 28 85 357 සහ 071 45 63 534 අංක වෙත දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here