Saturday, May 24, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් කොළඹ සරසවි නව උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක

කොළඹ සරසවි නව උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක

0
4


professor-indika-mahesh-karunathilake-the-new-vice-chancellor-of-the-university-of-colombo

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්යවරයා වෙත භාර දෙන ලදී.

මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කළ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ද සක්‍රිය දායකත්වයක් ලබා දී ඇත. ඔහු වෛද්‍ය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය හිමිකර ගෙන ඇත.


මහාචාර්යවරයා 2000 ජුනි මාසයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඩන්ඩි විශ්වවිද්‍යාලයේ (University of Dundee) උපාධිධාරියෙකි. එසේම ඔහු එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ඇකඩමියේ සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍ය විද්‍යායතනයේ අධි සාමාජිකත්වයද දරයි.
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ විශේෂඥතාව වෙනුවෙන් මහාචාර්ය කරුණාතිලක මහතා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ප්‍රජා සෞඛ්‍ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්‍යයන සම්මේලනය (APACPH) සහ අග්නිදිග කලාපීය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සංගමය (SEARAME) වැනි ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමඟ කටයුතු කිරීම තුළින් කලාපීය සහ ගෝලීය මට්ටමින් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.


ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) ලේකම් ලෙස ද සේවය කර ඇති අතර ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනඥයින්ගේ විද්‍යාලයේ (CME) ආරම්භක සභාපතිවරයා වීමේ ගෞරවයද ලබා ඇත. විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ (OPA) උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇති මහාචාර්යවරයා 2021දී ප්‍රජා සෞඛ්‍ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ (APACPH) මහලේකම්වරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ අතර මෙම කීර්තිමත් තනතුර දැරූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here