කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි මස 06වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම වළක්වාලමින් පසුගිය 07 වනදා පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (11) නියෝග කර තිබේ. ඒ අනුව මැයි 06 වනදා කොළඹ ඇතුළු තහනමට ලක්වූ ප්‍රදේශවල ඡන්ද විමසීම ගැටලුවකින් තොරව පැවැත්වේ.
අභියාචනාධිකරණය මෙම තීරණය ගෙන ඇත්තේ එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙසද නියෝගයක් නිකුත් කරමිනි.
පසුගිය 07 වන දින අභියාචනාධිකරණය විසින් කොළඹ මහ නගර සභාව (CMC) සහ තවත් පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණ සම්බන්ධ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කර තිබුණි. ඒ අනුව, හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩපළාත, සහ කුලියාපිටිය පළාත් පාලන ආයතනවල මැතිවරණ කටයුතුද අත්හිටුවා තිබිණි.
එය පෙත්සම් විභාගයෙන් පසු වෙනත් දිනයක පැවැත්වීමට අවසර දීමට අධිකරණය තීන්දු කර තිබිණි.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
පෙර පැවති අතුරු තහනම් නියෝගය හේතුවෙන් මැයි 06 දිනට නියමිතව තිබූ මැතිවරණය අවලංගු කිරීමට සිදුව තිබූ අතර මෙම නව තීරණයත් සමඟ ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්විය හැකිය.
මෙම තීරණය මගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට හා පළාත් පාලන ආයතනවල නිසි ක්‍රියාකාරිත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මඟ පාදනු ඇතැයි බලාපොරොත්තු වේ.
පෙර ක්‍රියාමාර්ගය ගෙන තිබුනේ පිරිසකගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තරඟ කළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් අනුවය. අධිකරණය පෙත්සම් සමඟ ඉදිරියට යාමට අවසර ලබා දී අතුරු නියෝගය නිකුත් කිරීමට හේතු විය.
Saru FM Media