කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළ හා මරදාන දුම්රිය පොළ නවීකරණ ව්‍යාපෘතිය
ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ මරදාන දුම්රිය පොළ නවීකරණ ව්‍යාපෘතිය අරඹමින්…


Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ සහ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15දා) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
“පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” උදා කර දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව, ‘Clean Sri Lanka’ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. මාස 08ක කාලය තුළදී පර්යන්තය සම්පූර්ණයෙන් වසා දමා සියලු පහසුකම් සහිත නවීන සහ ආකර්ෂණීය බස් නැවතුම් පොළක් ලෙස පූර්ණ සංවර්ධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික විද්වත් සංසදය ඇතුළු සංවිධානද ස්වේඡාවෙන්ම මේ සඳහා එක්ව සිටිති. 2026 වසරේ අප්‍රේල් මාසයේදී, සිංහල-දෙමළ අලුත් අවුරුද්දට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.
සමරු ඵලකය නිරාවරණය කර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රාජ්‍ය නිලධාරිහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහු, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීහු සහ වෘත්තීය සංගම්, වෙළෙඳ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) පෙරවරුවේ ආරම්භ කෙරිණි. දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ. විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
සමරු ඵලකය නිරාවරණය කරමින් මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, එහි පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළේය.
Saru FM Media