කොළඹ ජාතික රෝහල ආසන්නයේ හෘද රෝගීන්ට නවීනතම රෝහලක් හදනවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති මල්වතු අස්ගිරි මහ නාහිමිවරු බැහැ දකිමින් කියයි

0
1

රජයේ ප්‍රධාන රෝහල්වල තදබදය අඩු කරගන්න ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 100ක් රට තුළ විවෘත කරනවා

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (02 දා) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව ඇමැතිවරයා මල්වතු මහා විහාරයේදී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක, ආශිර්වාද ලබා, සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඉන් අනතුරුව අස්ගිරිය මහා විහාරය වෙත පැමිණි ඇමැතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා, සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ජනතාවාදී අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබඳවද, වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී ඇමැතිවරයා මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.

මෙම වර්ෂයේදී ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ සියයක් රට තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ යටතේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය අනුව සිව්වැනි ආරෝග්‍ය සුවතා ම්‍යස්ථානය මහනුවර, පොල්ගොල්ලවත්ත ග්‍රාමයේදීත්, පස්වැනි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මාතලේ දංකන්ද ග්‍රාමයේදීත්, ඊයේ පස්වරුවේම ආරම්භ කරන බවත් ඇමැතිවරයා මහානායක හිමිවරුන් පවසා සිටියේය.

රට තුළ ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩුකර ගැනීම සඳහා මෙවැනි කාලීන ව්‍යාපෘතීන් බෙහෙවින් ඉවහල් වනු ඇතැයි මහනායක හිමිවරුන් මෙහිදී ඇමැතිවරයාට පවසා සිටියේය.

මහනුවර ජාතික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබඳවත්, එහි අනාගත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳවත් ඇමැතිවරයා මෙහිදී මහ නාහිමිවරුන්ට කරුණු ඉදිරිපත් කර සිටියේය.

කොළඹ ජාතික රෝහල ආසන්නයේ හෘද රෝගීන් වෙනුවෙන් වෙනම අංගසසම්පූර්ණ නවීනතම රෝහලක් නුදුරේදීම ඉදිකරන බව අවධාරණය කළ ඇමැතිවරයා ඒ සඳහා බිලියන 13ක් වැයකිරීමට අපේක්‍ෂිත බවද ඇමැතිවරයා මහ නාහිමිවරුන් හමුවේ පැවසීය.

සමන්ති වීරසේකර සහ සිරිල් විමලසුරේන්ද්‍ර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here