කොවිඩ්-19 එක්ක ජීවත් වෙන්න ඉගෙන ගමු, ඒ වෙනුවෙන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පිළිපදිමු

0
10


අපි හැමෝම ජීවත් වෙන්නේ අපිට පරණ පුරුදු ලෝකේ නෙවෙයි. කොවිඩ්-19 වසංගතය ලෝක ව්‍යාප්ත වීමත් එක්ක අපි දන්න පරණ ලෝකේ දැන් වෙනස් වෙලා තියෙන්නේ. තවදුරටත් අපිට පරණ පුරුදු විදියට, පරණ පුරුදුත් එක්ක ජීවත් වෙන්න බෑ. අඩු තරමින් කොවිඩ්-19 සඳහා බෙහෙතක් හොයාගෙන, ඒක ගණන් නොගත යුතු උණ හෙම්බිරිස්සාවක් ගාණට වැටෙනකල් වත් අපිට කොවිඩ්-19 වසංගතයත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න වෙනවා. අන්න ඒකට ලෝකේ කොවිඩ්-19 තියෙන හැම රටකම හැම මනුස්සයෙක්ම පාහේ පිළිපදින්න අවශ්‍ය කරන හොඳ පුරුදු, ආචාර ධර්ම තියෙනවා. ආන්න එව්වා ගැන තමයි මේ කියන්න යන්නේ…

 

1. අලුත් ෆැෂන් එක, ෆේස් මාස්ක්!

මේක ඇත්තටම මේ වෙනකොටත් කොවිඩ්-19 එක්ක කැරකෙන ලෝකේ අලුත් ෆැෂන් එක වෙලා ඉවරයි. මිනිස්සු ෂර්ට් එකක් අඳිනවා, කලිසමක් අඳිනවා වගේ මුඛ ආවරණයක් දාන එක අනිවාර්ය කාරණයක් වෙලා තියෙන්නේ. ඒ එක්කම මුඛ ආවරණ ෆැෂන් පවා ඇවිත් තියෙනවා. ඒ ඒ ඇඳුම් වලට මැච් වෙන විදියට ඒ ඒ පාට වලින් ඕන නම් ෆේස්මාස්ක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් තමන් දාන්නේ රෙදි මාස්ක් එකක්ද, සර්ජිකල් මාස්ක් එකක්ද කියන එක අදාළ නෑ, හැමෝම ගෙදරින් එළියට බහිනවා නම් මාස්ක් එකක් දාගෙන යන එක තමයි අනිවාර්ය කාරණාව. ඒ නිසා ෆේස් මාස්ක් භාවිතය අපි හොඳ පුරුද්දක් කරගන්නම ඕන.

 

2. නිරන්තරයෙන් අත් හෝදමු

ඇත්තටම අත් හොඳට සබන් දාලා හෝදන්න කියලා අපිට කියලා දෙන්නේ බාලාංශ පංති වල ඉඳන්. හැබැයි ඉතින් කෑවට පස්සේ විතරක් අත් හෝදන උන්දැලට අත් සබන් යොදා හොඳින් සේදීම හුරුකරවන්න කොරෝනම එන්න වුනා! කොහොම හරි, මේ කොරෝනා ලෝකේ හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන දෙයක් තමයි සබන් යොදා අත් සේදීම. මහ අමාරු දෙයක් නෙවෙයිනේ, අත් වල හැම පෘෂ්ටයම ආවරණය වෙන විදියට හොඳට තත්පර තිහක් අත්හෝදන්නයි තියෙන්නේ. එතකොට ෂොප් එකකට එහෙම යනකොට ගෙදරින් හෝදගෙන ආවා කියලා ඔහේ ගිහින් හරියන්නෙ නෑ. එතනදිත් අත් හෝදන්න ඕන.

 

අත් හෝදන්න බැරි නම් ඒ විදියටම සැනිටයිසර් පාවිච්චි කරලා අත් පිරිසිදු කරගන්න ඕන.

 

3. සමාජයේ පරතරය තියාගන්නම වෙනවා

මිනිස්සු විදියට අපි කොයි තරම් සමාජ සත්වයෝ වුනත්, තවදුරටත් එකා පිට එකා නැගලා ඉන්න බෑ. කොරෝනා ලෝකේ කොරෝනා පැතිරෙන එක අවම කරගන්න අනිවාර්ය සාධකයක් තමයි සෝෂල් ඩිස්ටන්සින්ග් නැතිනම් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම. ඒ කියන්නේ බඩු ගන්න සුපර් මාකට් එකට ගියත් මීටරේ පරතරේ තියාගෙන තමයි ඉන්න ඕන. එහෙම නැතුව ෂේප් එකේ දෙන්නෙක්ගේ මීටරේ මැද්දට රිංගන්න බෑ. වෙන තැනකදී වුනත් අවම මීටරේක දුරක් තියාගෙන ඉන්න එක අපිට වගේම අනික් අයටත් හොඳයි.

 

4. ගෙදර ඉන්න පූසෝ වගේ

ඔව්. තවදුරටත් හිතුමනාපේ ගමන් යන්න නම් අමාරුයි තමයි. ඒ නිසා, කොවිඩ්-19 ආසාදිතයෝ සමාජෙන් වාර්තා වෙන්නෙ නෑ කියලා සෞඛ්‍ය අංශ වලින් කිවුවත්, හිතූ හිතූ හැටියේ ගමන් බිමන් යන එක අඩු කරන්න වෙනවා. ඒක අමාරුවක් වුනත්, කොවිඩ්-19 වසංගතෙත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙන ලෝකෙක වෙන කරන්න දේකුත් නෑ. පුළුවන් තරම් බඩු ඩිලිවර් කරගන්න, ඔෆිස් වැඩ ගෙදර ඉඳන් කරන්න හුරුවෙන්න වෙනවා.

 

5. ආයුබෝවං!

ඔව්, දැන් තවදුරටත් අපිට එළියට බැහැලා කෙනෙක්ව හම්බුණත් අතට අත දීලා ආචාර කරන්න, සිප වැළඳගන්න බෑනේ. ඉතින් හොඳම ක්‍රමේ තමයි සිංහල ක්‍රමේට ආයුබොවං කියන එක. නැත්තං දෙමළ ක්‍රමේට වනක්කම් කියන එක. ඕන නං ඒ විදියටම දෑත් එකතු කරලා අස්සලාම් අලෛක්කුම් කිව්වත් කමක් නෑ. අර අතට අත දෙන එක හෝ වෙනත් ශරීර ස්පර්ෂයකට යන්න එපා. කොටින්ම කිවුවොත්, මේ වසංගතේ පොඩ්ඩක් මර්දනේ කරගන්න කල් හොඳම යාලුවා හම්බුණත් පොඩ්ඩක් මීටරේ දුර තියාගෙන, පිටට අරෙහෙට මෙහෙට තට්ටු නොදමා ඉන්න වෙනවා.

 

6. සැවොම මනුෂ්‍යයෝය

මේක ඉතාම වැදගත් කාරණාවක්. ඒ තමයි, කොවිඩ්-19 එක්ක රෝගාතුර වෙලා ඉන්න ලෝකේ අනික් මිනිස්සුන්ට තමන් ශක්තියක්, ධෛර්යයක් වෙන එක. ඒකට අපි ධනාත්මකව හිතන්න පතන්න පුරුදු වෙන්න ඕන. කාරුණික වෙන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම කොවිඩ්-19 ආසාදිතයෝ ගැන සහ ආසාදිත බවට සැක පිට නිරෝධායනය කරලා ඉන්න අය ගැනත් මනුෂ්‍යයෝය කියලා හිතන්න පුරුදු වෙන්නත් ඕනේ.

 

7. කෙනෙක් රෝගී වෙන්නේ තමන්ගේ වරදින් නොවේ

සාමාන්‍යයෙන් අපි ඔය පත්තර ටෙලිවිෂන් වල එහෙම දකින දෙයක් තමයි, අහවලා නිසා අච්චරක් නිරෝධායනයේ වගේ හෙඩින් ගහනවා. එව්වා දැක්කහම මිනිස්සුන්ට ආකල්පයක් ඇතිවෙනවා කොවිඩ්-19 හැදෙන මිනිස්සු වැරදිකාරයෝය කියලා. අපිට වෙන කෙනෙක්ගෙන් කොවිඩ්-19 බෝ වුණොත් එහෙම ඔන්න අපි ඒ මනුස්සයට හෙණ ඉල්ලනවා. ගමේ එකෙක් කොවිඩ්-19 පොසිටිව් වුනොත් එහෙම ඒ මනුස්සයාගේ පවුලම ගෙවල් වලින් එලවන්න කතා කරනවා. මේ එකක්වත් යහපත් ගති ලක්ෂණ තියා මානුෂීය ලක්ෂණ වත් නෙවෙයි. මුලින්ම තේරුම් ගන්න ඕන ලෙඩක් හැදෙන්නේ තමන්ගේ වැරැද්දෙන් නෙවෙයි කියන එක. ලෙඩක් බෝවෙන්නේ හොඳ මිනිස්සු නරක මිනිස්සු බල බල නෙවෙයි. අන්න ඒ නිසා, කොවිඩ්-19 පදනම් කරගෙන මිනිස්සුන්ව කොන් කරන එක, ඒක මිනිස්සුන්ගේ වරදින් හැදෙන ලෙඩක්ය කියන ආකල්පය දුරින් දුරු කරගන්න ඕන.

 

8. හැංගෙන්නත් එපා හැබැයි!

ඒ වගේම අවසාන කාරණාව තමයි, කොවිඩ්-19 බවට සැක සහිත රෝග ලක්ෂණ තමන්ට තියෙනවා නම්, වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීලා අදාළ ක්‍රියාවලියට උපරිම සහාය දෙන එක. ඒකත් කොවිඩ්-19 කාලේ අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන යහගුණයක්. එහෙම නැතුව නිරෝධායනයට බයේ, ඉස්පිරිතාලේ ඉන්න වෙනවට බයේ ලෙඩේ හංගගෙන හිටියොත්, තමන්ගෙන් තව හිතාගන්න බැරි තරම් විශාල ප්‍රමාණයකට ආසාදනය වෙන්න පුළුවන්. අන්න ඒ නිසා වහාම වෛද්‍ය උපදෙස් පිළිපැදලා ප්‍රතිකාර වලට යොමු වෙන එකත් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන කොවිඩ්-19 කාලේ යහගුණයක්.

 

අන්තිමට අපිට කියන්න තියෙන්නේ එක දෙයයි. මේක අපිට විතරක් බලපාලා තියෙන වසංගතයක් නෙවෙයි. ලෝක ව්‍යාප්ත වසංගතයක් විදියට අපි හැමෝම කොවිඩ්-19 එක්ක සටන් කරමින් ඉන්නේ. ඒ නිසා,

 

ස්මාට් වෙන්න… පරිස්සම් වෙන්න… ඒ වගේම, කාරුණික වෙන්න…

The post කොවිඩ්-19 එක්ක ජීවත් වෙන්න ඉගෙන ගමු, ඒ වෙනුවෙන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පිළිපදිමු appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here