කොලොම්බියාවේ වාමාංශික පෙරමුණ මැතිවරණය ජය ගනී ! – Saru News | සිංහල

0
3

කොලොම්බියාවේ මාර්තු 08 වැනිදා පැවැති පාර්ලිමේන්තුව මැතිවරණයෙන් ජනාධිපති  Gustavo Petroගේ “එයතිහාසික වාමාංශික පෙරමුණ” ආසන 25ක් (22%) ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් එරට කොංග්‍රසයේ ප්‍රමුඛ බලවේගයක් ලෙසත්, සෙනට් සභාවේ 22.73%ක් ද දිනා ගැනීමට වාමාංශික පෙරමුණ සමත් වී ඇතැයි වාර්තා වේ. මෙම ජයග්‍රහණයත් සමග ලබන මැයි 31 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන Iván Cepeda පළමු වටයේදී 30%ක් ලබා ගනු ඇති බවට ද එරට මැතිවරණ මත විමසීම් මගින් තහවුරු කර ඇත.

මැයි අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර පරීක්ෂණයක් ලෙස මාර්තු 08 වන ඉරිදා පැවැත් වුනු මහා මැතිවරණයෙන් ජනාධිපති Gustavo Petroගේ නායකත්වයෙන් යුත් ඓතිහාසික ගිවිසුම් සන්ධානය (historic pact) නම් වාමාංශික පෙරමුණ එරට කොංග්‍රසයේ ප්‍රමුඛ බලවේගයක් ලෙස මතුවීම ඔහු විසින් ආරම්හ කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට හැකියාව ලබා දෙනු ඇත. එසේම ඔහුගේ නායකත්වයෙන් යුත් එම වාම පෙරමුණට ප්‍රධාන දක්ෂිණාංශික විපක්ෂ බලවේගයට වඩා සෙනෙට් සභාවේ විශාලතම නියෝජනය ද මෙම මැතිවරණයෙන් ලැබී ඇත. 2022 දී මෙන්, කොංග්‍රසයේ වාමාංශිකයින් තම ප්‍රගතිය තහවුරු කර ගෙන ඇත, එය රටේ ඉතිහාසයේ නව ප්‍රවණතාවයක් ලෙස සැලකේ.

මෙම දේශපාලන ව්‍යාපාරයෙන් පළමු ජනාධිපතිවරයා බවට පත් වූ සහ බලයට පත් වූ පළමු හිටපු ගරිල්ලා නායකයා Gustavo Petro වන අතර පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය මගින් ද ඔහු පිලිබඳ විශ්වාසය වැඩි වී ඇති අතර වමේ බලය තව දුරටත් රට තුල තහවුරු වී ඇත. කොලොම්බියාව යනු දීර්ඝ කාලයක් පුරා ඇමරිකාවේ ග්‍රහණයට හා එරට සහය ලැබූ කොමියුනිස්ට් විරෝධී දක්ෂිණාංශික පක්ෂ දශක හතරක් පුරා පාලනය කල රටක් වන අතර වසර 60ක පමණ කාලයක සිට ගරිල්ලා යුද්ධ වලින් හෙම්බත් වූ රාජ්‍යයයකි.

ඒ අනුව ලබන මැයි 31 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් Gustavo Petro නැවත මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් වීම හේතුවෙන් ඔහුගේ අනුපාප්ත්‍රිකයා ලෙස ඔහුගේ පක්ෂය නියෝජනය කරන වාමාංශික සෙනෙට් සභික Ivan Cepeda සහ දක්ෂිණාංශික නීතිඥ Abelardo de la Espriella. අතර දැවැන්ත තරඟයක් ඇති වීමට ඉඩ ඇති බව දකුණු ඇමරිකානු දේශපාලන විශේෂඥයයින් පෙන්වා දේ. එසේම ජුනි 21 වන දින ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වෙනු ඇතැයි ද ඇතැම් මත විමසුම් පුරෝකථනය කරයි.

“අද, අපගේ ධූර කාලයේ දෙවන භාගය ආරම්භ වන්නේ ශක්තිමත් කන්ඩායමක් ලෙසයි ,”යයි  එයතිහාසික වාම සංධානයේ ජනාධිපති අපේක්ෂක Ivan Cepeda මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“රටේ කොංග්‍රසය තුල විශාලතම පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස වම ජයග්‍රහණය කිරීම ඉතා බරපතල තත්වයක්” යයි දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත Abelardo de la Espriella එහිදී මාධ්‍ය වෙත පවසා සිටියේ දැඩි ආවේගයකිනි. ඔහුගේ අන්ත දක්ෂිණාංශික “ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය” නම් පක්ෂය දෙවන ස්ථානයට පත් වූයේ ඡන්දයෙන් 15.61%ක් ලබා ගනිමින්ය. එහි නිර්මාතෘ, හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ (2002-2010), සෙනෙට් සභාවට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ වද තේරී පත් නොවූ බව වාර්තා වේ.

Gustavo Petroගේ අනුප්‍රාප්තිකයාගේ පදවි ප්‍රාප්තියට සති තුනකට පමණ පසු, නව කොංග්‍රසය ජූලි 20 වන දින රැස්වීමට නියමිතව ඇත. මැයි 31 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂකයා වන Ivan Cepeda යම් විදියකින් තේරී පත් වුවහොත් Gustavo Petro ආරම්හ කල වාමාංශික ප්‍රතිසංස්කරණ දිගටම පවත්වාගෙන යාම වේගවත් වනු ඇත. නමුත් එය සාර්ථක කර ගැනීමට සහාය දක්වන බහුතර කොංග්‍රසයක් අවශ්‍ය වනු ඇත. බහුතර දක්ෂිණාංශික හා ලිබරල් වාදීන්ගෙන් සමන්විත වර්තමාන කොංග්‍රසය, ඔහු ඉදිරිපත් කල අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ රාශියක් කඩා කප්පල් කරනු ලැබූ අතර, ඇතැම් සමාජ ප්‍රතිසංස්කරණ අනුමත කරනු ලැබූවේය. ඉඩම් ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය සේවා පද්ධතියේ වෙනස්කම් සහ ධනවත්ම පුරවැසියන් සඳහා බදු වැඩි කිරීම් සඳහා ඉදිරිපත් කල යෝජනා සම්මත කිරීම වර්තමාන කොංග්‍රසය එම ප්‍රතිගාමී බහුතර චන්දයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

මෙම තත්වය මත Gustavo Petro කොංග්‍රසයේ විපක්ෂ නීති සම්පාදකයින්ට ප්‍රතිචාර දැක්වූයේ ජනතාව පාරට බස්සවා දැවැන්ත පෙළපාලි සංවිධානය කිරීමෙනි. එම විශාල ජනතා රැලි වලදී ඔහු කොංග්‍රසයට එරෙහිව ගිනිමය කථා පැවැත්වූ අතර කොංග්‍රසයේ විපක්ෂ සාමාජිකයින්ගෙන් සමහරක් සිදු කල බොහෝ දූෂණ වංචා ජනතාව ඉදිරියේ හෙළි කර සිටියේය.

2025 දී දක්ෂිණාංශික ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට සිටි මිගෙල් උරිබ් ඝාතනය කිරීම ඇතුළුව මෑත මාසවලදී දේශපාලන චරිතවලට එරෙහිව සිදු කරන ලද බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොතකා ඡන්දය සාමකාමීව සිදු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. මැතිවරණ ව්‍යාපාරය ආරම්හ යේ සිටම ප්‍රචණ්ඩත්වයෙන් පිරී ගිය අතර, ප්‍රධාන වශයෙන් කොලොම්බියාව ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයා වන අතර කොකේන් වෙළඳපොළ පාලනය කිරීම සඳහා තරඟ කරන සන්නද්ධ පාතාල කණ්ඩායම්, පැරාමිලිටරි කණ්ඩායම්, කර්ටෙල් විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ලදී. දක්ෂිණාංශ පෙරමුණ මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා ජාතික ආරක්ෂාව සඳහා ELN හා FARC ගරිල්ලා කණ්ඩායම් මර්දනය කරන බවට පොරොන්දු වන අතර, Gustavo Petro ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ එම කණ්ඩායම් හා ශක්තිමත් වූ සන්නද්ධ පාතාල කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහයක් ගනු ලැබූ අතර ඔහු සාමය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටී.

කොලොම්බියාවේ අන්ත දක්ෂිණාංශික පෙරමුණට නායකත්වය දෙනු ලබනුයේ මෙම මැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ වන අතර සාක්ෂිකරුවන් හා සාක්ෂි විකෘති කිරීම සහ ක්‍රියා පටිපාටි වංචා සම්බන්ධයෙන් වසර 12ක නිවාස අඩස්සියේ තැබීමේ දඬුවමක් අධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසු නිදහස් වී මැතිවරණ ප්‍රවාහය තුල ගරිල්ලා විරෝධී ව්‍යාපාරය ජනතාව තුල ගිල්ලවීමට අසීමිත ලෙස මුදල් වියදම් කරමින් සිටි.

මෙම මැතිවරණයට තරඟ වදින හිටපු FARC ගරිල්ලන් ද සිටි අතර, ඔවුන් 2016 දී කොලොම්බියානු රාජ්‍යය සමඟ සාම ගිවිසුමෙන් පසු දේශපාලනයට පිවිස ඇති අතර, මෙවර ඔවුන්ට සහතික කළ ආසන ප්‍රමාණය ලබා ගැනීමට ඔවුන් අපෝසත් වී තිබිණි.

මැතිවරණය සාමකාමීව පැවැත් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද සඳුදා කොලොම්බියානු ජනතාවට හා ජනාධිපති Gustavo Petroහට සුබ පැතුවේය. ආරක්ෂිත මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ සාමය ගොඩනැගීමට සහාය වීම සම්බන්ධයෙන් ගුටරෙස් කොලොම්බියානු බලධාරීන්ට ප්‍රශංසා කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා සාම උත්සාහයන් ඉදිරියට ගෙන යාමේදී අනාගත කොංග්‍රසයේ “තීරණාත්මක කාර්යභාරය” ඉතා දැඩිව අවධාරණය කළේය. විශේෂයෙන් 2016 නොවැම්බර් මාසයේදී කොලොම්බියානු රජය සහ FARC-EP ගරිල්ලන් අතර අත්සන් කරන ලද අවසන් ගිවිසුම යටතේ නිර්මාණය කරන ලද “සාම මැතිවරණ කොට්ඨාශ” 16කින් වසර 60ක යුද්ධයේ වින්දිතයින් මැතිවරණය නියෝජනය කිරීම, පැරණි ගරිල්ලා කණ්ඩායම් චන්දයට ඉදිරිපත් වීමට සැලැස්වීම සහ පිරිමින් සහ කාන්තාවන් තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු කොලොම්බියානු බලධාරීන්ට තම ස්තුතිය පල කළේය.

කෙසේවෙතත් මැතිවරණය ජයග්‍රහණයත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 17ක් සමග එක් වී ලොව ප්‍රධාන කොකේන් නිෂ්පාදකයා වන කොලොම්බියාව නොමැතිව මත්ද්‍රව්‍යවලට එරෙහිව මිලිටරි සන්ධානයක් ගොඩ නගන ලද බව මාර්තු 09 වනදා නිවේදනය කරනු ලැබුවේය. මෙම යුධ පෙරමුණට වාමාංශික පාලනයන් නියෝජනය කරන මෙක්ෂිකෝවට හා බ්‍රසිලයටද ආරාධනා කර තිබුනේ නැත.

මෙම නව මිලිටරි සංධානය තුලට තම රට ඇතුලත් නොකර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 17ක් සමග නිර්මාණය කිරීම Gustavo Petro විවේචනය කල අතර “කොකේන් ඇතුළු භයානක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, කොලොම්බියාවේ අත්දැකීම් එයට එරෙහිව සටනේදී අත්‍යවශ්‍ය බව මාධ්‍ය වෙත පවසා සිටියේය. මේ අතර මාර්තු 09 වැනිදා මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් තම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීති විරෝධී ලෙස අවි ප්‍රවාහනය නතර කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම කණ්ඩායම්වලට එරෙහි සටනේදී ඇගේ රජයේ වාර්තාව විවේචනය කිරීමෙන් පසුවය.

මෙම නව මිලිටරි සංධානය නිර්මාණය කිරීමේ සැබෑ ඇමරිකානු අරමුණ කුමක් වුවත් එය ලොව ප්‍රධාන කොකේන් නිෂ්පාදනය සිදු කරන කොලොම්බියාව ඉවත් කිරීම මැයි 31 වනදා එරට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂක Ivan Cepeda හා ජනාධිපති Gustavo Petro හට තීරණාත්මක සටනක් සඳහා සුදානම් වන ලෙසට කරන පෙරහුරුවක් විය හැකි යයි දේශපාලන නිරීක්ෂකයින් මේ අතර අනතුරු හඟවයි.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here