කොරියානු භාෂා විභාගයට නව මධ්‍යස්ථානයක්

0
1

දකුණු කොරියාවේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවිණතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය අද (22) විවෘත කළේය.

‘Korean Language Examination Center Ubiquitous-based Test (UBT)’ ලෙසින් නම්කර ඇති මෙම මධ්‍යස්ථානය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

නව විභාග මධ්‍යස්ථානනය 553/1, නව නුවර පාර, තලාහේන යන ලිපිනයේ පිහිටා තිබේ.

කොරියානු භාෂා පරීක්ෂණ කටයුතු ටැබ් භාවිතා කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව එම ආයතනයේ ඉල්ලීම මත 2025 වර්ෂයේ සිට පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා වැඩි පහසුකම් ඇති, වරකට රැකියා අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් සඳහා විභාග පැවැත්වීම අරමුණු කරගෙන මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.

පරීක්ෂණ සඳහා අවශ්‍ය ටැබ් පහසුකම් කොරියානු රජය විසින් ලබා දී තිබේ.

නව ගොඩනැඟිල්ලේ පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී එක් සැසියක් සඳහා රැකියා අපේක්ෂකයින් 100 දෙනෙකුට පෙනී සිටීමට හැකි අතර, දිනකට රැකියා අපේක්ෂකයින් 400ක ප්‍රමාණයකට විභාගය සඳහා පෙනී සිටිය හැකිය.

E-9  වීසා කාණ්ඩය යටතේ කොරියානු රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර 2004 වර්ෂයේදී අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව කොරියානු රැකියා වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීමේදී කොරියානු භාෂා පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්යය වන අතර, 2014 වර්ෂය වනවිට පරිගණක මාධ්‍ය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමවේදය මගින් භාෂා පරික්ෂණය පැවැත්වීම ලංකාවේ ආරම්භ කළේය.

පන්නිපිටිය නගරයේ ගොඩනැඟිල්ලක එම විභාග මධ්‍යස්ථානය පවත්වාගෙන යන ලදී.  

2025 වර්ෂයේ කොරියානු භාෂා පරික්ෂණය සඳහා රැකියා අපේක්ෂකයින් 36,745ක ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිත අතර, එම විභාගය හෙට (23) දින සිට 2026 මාර්තු මස දක්වා මෙම නව මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here