ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන කමර්ෂල් බැංකුවේ ගිණුම් පවත්වාගෙන යමින් තෑගි පාර්සල් ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (05) දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බැංකු මූලස්ථානයේ ප්‍රධානියකු වන කේ.එම්. ඔෂධ නවරත්න නැමැත්තා ඇතුළු පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මේ විමර්ශනය ආරම්භ කර තිබිණි.
අදාළ බැංකුවේ ත්‍රිකුණාමලය ශාඛාවේ සැකසහිත ගිණුමක් පවත්වාගෙන යමින් තෑගි පාර්සල් ලබාදෙන බව පවසමින් පුද්ගලයන් සතු රුපියල් ලක්ෂ 18 කට ආසන්න මුදලක් ලබාගෙන ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය, කන්තලේ පදිංචි සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
📌සබැඳි පුවත්
Saru News















