කොන්දේ අමාරු වැඩිකරවන නරක පුරුදු

0
8


කොන්දෙ කැක්කුමකින් ජීවිතේ එක් වරක් හෝ පීඩා විඳ නැති කෙනෙක් හොයාගන්නට බැහැ. බොහෝ වෙලාවට කොන්දේ පහළ කොටස තමයි අපට වේදනා දෙන්නේ. මේ කොන්දේ කැක්කුම් විවිධ හේතූන් නිසා ඇතිවන්නට පුළුවන්. කොන්දේ කැක්කුමකට සෘජුවම කොන්දට අමතරව ඒ ආසන්න උදරය, වකුගඩු සහ පිළිකා තත්ත්වයනුත් බලපාන්නට පුළුවන්. ඉතින් කොන්දේ අමාරු වැඩිවෙන නරක පුරුදු මොනවාද කියලා අපි බලමු. 

 

1. දුම්පානය 

දුම්පානයේදී සිරුරට ඇතුළු වෙන නිකොටින් මගින් සිරුරේ මාංශපේෂින් කරා යන රුධිර ධාවනය අඩු වෙනවා. ඒ තුළින් මාංශපේෂින් දුර්වල වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම අස්ථි වල ශක්තිමත් භාවයට බලපාන කැල්සියම් අවශෝෂණය කරගැනීමත් සිගරට් බීමෙන් අඩාල කරනවා. සිගරට් බොන වැඩිහිටියන්ට ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ අවදානමත් වැඩියි. ඒ එක්ක සිගරට් සිරුරේ පෙනහළු දුර්වල කරනවා වගේම කොන්දේ අමාරු වලටත් හේතුවක් වෙනවා. 

 

2. අඩි උස පාවහන් පැළඳීම 

කාන්තාවන් පශ්චාත් භාගය මැනවින් ඔසවා පෙන්වීම සඳහාත්, තමුන්ගෙ උස වැඩිකර පෙන්වීම සඳහාත් අඩි උස පාවහන් පළඳිනවා. එහෙත් ඒ මගින් පාදයේ, උකුල් පෙදෙසේ මෙන්ම කොන්දේද මාංශපේෂි සහ අස්ථි වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කරනවා. ලංකාව වැනි රටක පොදු ප්‍රවාහනයේ වැඩි වේලාවක් හිටගෙන ගමන් කරන්නට සිදුවන යුවතියන්ට අඩි උස සපත්තු පැළඳ සිටීමෙන් අපහසුතා වැඩි වෙනවා. මන්ද හයි හීල්ස් පැළඳ ඇදුන, අපහසු ඉරියව්වෙන් ඔවුන්ට වැඩි වේලාවක් ගත කරන්නට සිදු වෙනවා. ඒ නිසා අත්‍යාවශ්‍යම අවස්ථාවක ඇරෙන්නට අඩි උස සපත්තු වලින් ඈත්වීම කකුල් වලට වගේම කොන්දේ සෞඛ්‍යයටත් හොඳයි. 

 

3. වැරදියට බර එසවීම 

කිලෝ 10කට වැඩි බරක් එක්වරම කොන්දට දරන්නට සිදුවීම කොන්දේ අමාරුව ඇතිවීමට හේතු වන්න පුළුවන්. එකවරම කොන්ද නමා බර එසවීම කොන්දට දැරීමට අපහසුයි. බර එසවීමේ නිවැරදි ඉරියව්වේදී කකුල් නවා අදාළ ඉරියව්වෙන් බර එසවීම සිදුකළ යුතුයි. වැරදි ඉරියව් අනුගමනය කිරීමෙන් එක් වරම කොන්දේ ආබාධ ඇති නොවුනත්, කාලයක් ඒ වැරදි ඉරියව් අනුගමනය කිරීමෙන් කොන්දේ අමාරු ඇතිවිය හැකියි. එසේ වැරදි ඉරියව්වෙන් කොන්දට බර යෙදීමේදී කොන්ද ආශ්‍රිත පේෂිවල සහ තන්තුවල ඇදීම් සිදු වේ. එවිට කොන්ද ආශ්‍රිත මාංශපේෂින් වලට අනවශ්‍ය පීඩාවන් ඇතිවී කොන්දේ ආබාධ ඇතිවීම සිදුවේ. 

 

4. වැරදි ඉරියව් භාවිතය 

අප අද රාජකාරි කටයුතු කරන විට වාඩි වී සිටින ඉරියව්වද කොන්දේ ආබාධ වලට හේතු වෙනවා. දවසේ පැය ගණනාවක්, ඇතැම් විට නින්දේ ඇඳේ සිටින වෙලාවටත් වැඩි වෙලාවක් ඇතැම් අය පුටුව උඩ වාඩිවෙලා ඉන්නවා. නිදාගැනීම, ඉඳ ගැනීම, ඇවිදීම, දිවීම, බර එසවීම වගේ කාර්යයන් වලදී නිවැරදි ඉරියව් පාවිච්චි නොකළොත් ඒ නිසා කොන්දේ අමාරු ඇති වෙන්න ඉඩකඩ වැඩි වෙනවා. වැරදි ඉරියව් වැඩිපුර භාවිතා කිරීමේදීත් කාලයක් ගත වනවිට කොන්දේ අමාරු ඇතිවන්න ඉඩ තියෙනවා. නිවැරදි ඉරියව් ගැන අන්තර්ජාලයේ යූ ටියුබ් හරහා වුවත් අපිට අදහසක් ගන්නට හැකි පාඩම් මාලාවන් තියෙනවා. 

 

5. බර ගැන අවධානයක් නැතිවීම 

සිරුරේ උසට හරියන බර නැතිවීම දියවැඩියාව, අධික රුධිර පීඩන වගේ තත්ත්වයන් වැඩිකරන්න හේතු වෙනවා. ඒ වගේම අපර් බොඩි, එහෙම නැතිනම් සිරුරේ ඉනෙන් ඉහළ බර වැඩිවීම කොන්දේ අමාරුව ඇතිකරන්නත් හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා උසට හරියන විදිහට බර පාලනය කිරීම වැදගත් වෙනවා. ඔබේ උසට හරියන ලෙස බර තියෙනවාද කියලා බලාගන්න එක වගේම බර වැඩිනම් ව්‍යායාම සහ ආහාර පාලනයට යොමු වෙලා බර අඩුකරගන්නත් ක්‍රියාකරන්නට ඕනි වෙනවා. 

 

6. මාංශපේෂීන් දුර්වල වීම 

කොන්දේ අමාරු වලට කොන්ද වගේම උදරය දෙසින් තියෙන මාංශපේෂීන් වල ශක්තිමත් කමත් බලපානවා. ඒ නිසා මේ මාංශපේෂී ශක්තිමත්ව තබාගැනීම ගැන අවධානය යොමු කරන්නට වෙනවා කොන්දේ අමාරු ගැන සැළකිලිමත් වෙනවා නම්. ස්ථුලතාවය නිසා ඉදිරියට එන උදරය නිසා උදරයේ මාංශපේෂීන් දුර්වල වෙනවා. ඒ වගේම ව්‍යායාම අඩු ඒකාකාර ජීවන රටාව නිසාත් උදරය සහ ඒ ආශ්‍රිත මාංශපේෂින් දුර්වල වෙනවා. මාංශපේෂීන් දුර්වල වෙලා නම් නිසි උපදෙස් අරගෙන, ඒ සඳහා ව්‍යායාම ගත යුතු වෙනවා. සාමාන්‍ය පුද්ගලයින් නිසි ලෙස උදරය දෙසට සහ පාදවලට ව්‍යායාම ලබා ගන්නවානම් මේ මාංශපේෂි වල දුර්වලතාවයන් මතුවීම අඩු වෙනවා. 

 

7. කැල්සියම් වැඩිපුර නොගැනීම 

නිරෝගී පුද්ගලයින්ට වඩා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයන් තියෙන අයට කැල්සියම් ඌනතාවය නිසා අස්ථි වල දුබලකම් ඇතිවෙන්නට අවදානමක් තියෙනවා. ඔස්ටියෝපොරෝසිස් නිසා කොන්දේ තිබෙන අස්ථිවල යම් බිඳීමක් ඇති වුවත් එය මගින් දැඩි වේදනාවක් ඇතිවන්නට පුළුවන්. ඒ වගේම එය යථා තත්ත්වයට ගන්නත් සෑහෙන කලක් කැපකිරීම් කරන්නට වෙනවා. වයසට යෑම එක්ක මතුවෙන කැල්සියම් ඌනතාවය එක්ක සලකා බලලා කැල්සියම් යහමින් ඇති ආහාර පාන කෑම වේලට එකතු කරගන්න හැකිනම් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයන් නිසා ඇතිවෙන කොන්ද අමාරු නැතිකරගන්නට පුළුවන් වෙනවා. 

 

වැඩිහිටි වියේදී ඇතිවෙන කොන්ද කැක්කුම් නම් තෙල් බේත් ටිකක් ගෑවහම ඇරිලා යනවා. ඒත් දිගින් දිගට තියෙන කොන්දේ කැක්කුම් සහ දරුණු මට්ටමේ කොන්ද කැක්කුම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුටම පෙන්වන්නට ඕනි. ඔලුවේ කැක්කුම ලෙඩ රෝග විශාල ගාණකට හේතු වෙනවා වගේම කොන්දේ කැක්කුම තුළිනුත් කලාතුරකින් වෙනත් රෝගාබාධත් නිරූපණය වෙනවා. ඉතින් කොන්ද ආරක්ෂා කරගන්න හොඳ ඉරියව් පාවිච්චි කරනවා වගේම දුම්පානයෙන් වැළකිලා, අසීරුවෙන් අඩි උස පාවහන් භාවිතයෙන් වැළකිලා ඉන්නත් අපි කටයුතු කරන්නට හිතට ගන්නට ඕනි. 

 

The post කොන්දේ අමාරු වැඩිකරවන නරක පුරුදු appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here