කොන්දේසි කඩා ආණ්ඩුව සමාගමකට බදු සහන දීමෙන් මතගැටුමක්! IMF දරුණු වෙයි! කොන්දේසි දැඩි කරයි! හතරවැනි වාරිකය වැට උඩ! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

0
7


පුංචි ඡන්දෙන් ආණ්ඩුව හෙළවෙයිද?

තීරු බදු සාකච්ඡා තීන්දුවක් නෑ!

සජිත් හදිසියේම කොළඹ ආවේ ඇයි?

අනුරගේ ෆොටෝ එකට මාධ්‍ය ඒකකයට කේන්ති ගිහින්!

ඡන්ද ප්‍රතිපලය

මේ දිනවල සියල්ලන්ම බලා සිටින්නේ මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය දෙසය. ඉතිහාසයේ කෙදිනකවත් නොමැති ආකාරයට මෙවර පළාත් පාලන මැතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ එහි ප්‍රතිඵලය මුල්කරගෙන ඉදිරියේදී දේශපාලන පෙරළි රැසක් සිදුවීමට නියමිතව තිබීම නිසාය. මෙතෙක් පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ සාමාන්‍යයෙන් සිදුව ඇත්තේ පවතින ආණ්ඩුවම පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමය. මෙය පළමු වරට වෙනස් වූයේ 2018 පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදීය. 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව වසර තුනක් ඇතුළත ජනතාව අතර අප්‍රසාදයට පත්ව තිබීම නිසාත්, නව පක්ෂයක් ලෙස පොහොට්ටුව ජනතාව අතරට යෑම නිසාත් ඉතිහාසයේ පළමු වරට පැවැති ආණ්ඩුවක් පරාජය කොට පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට එදා පොහොට්ටුවට හැකි විය. නමුත් එය සිදුවූයේ යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර 03ක් ඉක්ම යෑමෙන් අනතුරුවය.
නමුත් මෙවර මාලිමා ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ දැවැන්ත දේශපාලන ජයග්‍රහණ දෙකක් ලබා මාස 07ක් ඉක්ම යෑමට පෙරය. එවැනි අවස්ථාවකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ පළාත් පාලන ආයතන සියල්ලක්ම පාහේ හෝදාගෙන යන තරමේ ජයග්‍රහණයක් ලැබීමට පාලක පක්ෂයට හැකිවීමය. නමුත් ගෙවුණු මාස 7 තුළ මතුව ඇති දේශපාලන, ආර්ථික, සමාජ වටපිටාව හේතුවෙන් වත්මන් මාලිමා ආණ්ඩුවට එවැනි හෝදාගෙන යන ආකාරයේ ජයග්‍රහණයක් ලැබීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් විවිධ තර්ක ඉදිරිපත් වන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. එහිදී බොහෝ දෙනා තර්කයක් ලෙස ඉදිරිපත් කරන්නේ මතුව ඇති තත්ත්වය යටතේ මෙවර පළාත් පාලන ආයතන 341න් හෝදාගෙන යන තත්ත්වයක් කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 100ක් වැනි ප්‍රමාණයක් තනිව බලය පිහිටුවීමට මාලිමාවට හැකිවනු ඇතැයි කියාය. තවත් සමහරුන් කියන්නේ එම ප්‍රමාණය 75කට පමණ සීමා වනු ඇති බවකි. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ඉතිරි පළාත් පාලන ආයතන අතිබහුතරයෙන් ප්‍රධාන විපක්ෂය වන සජබය යම් ප්‍රමාණයක බලය තනිවම තහවුරු කරගෙන ඇති බවත්, බහුතර පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය විපක්ෂය ඒකාබද්ධව තහවුරු කරගනු ඇති බවත්ය.Sri Lanka Latest News

එහෙම වෙන්නේ ඇයි?

මෙවැනි තර්කයක් මතුකිරීමට බලපා ඇති හේතුසාධක රැසක්ම මේ වනවිට දැකගන්නට තිබේ. ඉන් එකක් වන්නේ පසුගිය ජාතික මැතිවරණ දෙකට සාපේක්ෂව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ එතරම් උනන්දුවක් දැකගන්නට නොලැබීමය. පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහ මැතිවරණයේදීත් විශේෂයෙන් රාජ්‍ය සේවකයෝ දැඩි උනන්දුවකින් යුතුව මාලිමාවට ඡන්දය භාවිත කිරීමට පෙළගැසී සිටියහ. තරුණ මහලු භේදයකින් තොරව රාජ්‍ය සේවකයෝ මාලිමාව වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වූහ. නමුත් මෙවර එවැන්නක් කිසිසේත්ම දැකගන්නට නැත. නිල වාර්තාවලට අනුවද සඳහන් වන්නේ රාජ්‍ය සේවකයන් 50%ක් හෝ මෙවර ඡන්දය භාවිත කිරීමට ඉල්ලුම් කොට නොමැති බවකි.

දෙවැන්න ඡන්ද දායකයන් බොහෝ දෙනකුම ප්‍රසිද්ධියේ කියා සිටින්නේ තමන් මෙවර කිසිදු පක්ෂයකට ඡන්දය දීමෙන් වැළකී සිටිනවා යැයි කියාය. මෙවර මැතිවරණ ප්‍රතිඵලය ඉතා තීරණාත්මක විය හැකි බව බොහෝ දෙනා තර්ක කරන්නේ මේ මත පිහිටාය. අනෙක් අතට මෙරට විදෙස් තානාපති කාර්යාලද මෙවර මැතිවරණ ප්‍රතිඵලය දෙස ඉතා සැලකිල්ලෙන් යුතුව බලා සිටින බව නොරහසකි. ඔවුන්ද මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු යම් යම් තීන්දු තීරණ ගැනීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටීම ඊට හේතුවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිටින්නේ ඉන් ඉහළම තැනකය.

අයි.එම්.එෆ් දරුණු වෙයි

අප එසේ කියන්නේ පසුගිය දිනෙක ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුව මුල්කොට ගෙනය. මෙපමණ කල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ මූල්‍ය අරමුදලේ නියෝජිතයා වූ පීටර් බෲවර් මහතාගේ නික්ම යෑමෙන් පසු එම තනතුරට පත්වූ නව නියෝජිතයා විසින් මෙම මාධ්‍ය හමුව පැවැත්වූ අතර, එහිදී ඔහු සියල්ලන්ගේම ඇස් අරවන බරපතළ ප්‍රකාශයක් සිදුකිරීමට පියවර ගත්තේය. එහිදී ඔහු කියා සිටියේ සිවුවැනි වාරිකය ලංකාවට නිදහස් කිරීම සඳහා කාර්යමණ්ඩල එකඟතාවට පැමිණීමට පියවර ගත්තද සිවුවැනි වාරිකය නිදහස් කිරීමට නම් දෙපාර්ශ්වය අතර අස්සන් තැබූ ගිවිසුමට අනුව කොන්දේසි දෙකක් ඉටුවිය යුතු බවකි. ඉන් පළමුවැන්න වී තිබුණේ විදුලි බිල ඉහළ දැමීමය. ශ්‍රී ලංකා විදුලි සැපයුම් පිරිවැය ආවරණය කරන ක්‍රමවේදයකට එකඟ වී ඇති නමුත් අප්‍රේල් අවසානය වන තෙක් එය ක්‍රියාත්මක වී නොමැති වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය තවමත් රාජ්‍ය මූල්‍ය පද්ධතියට විශාල බරක් බව මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබිණ. ඒ අනුව මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ අදාළ ගැළපුම සිදුකරන තෙක් සිවුවැනි වාරිකය නිදහස් කළ නොහැකි බවකි.

දෙවැන්න වූයේ මූල්‍ය සහතික සහ ණය ප්‍රතිසංස්කරණයය. මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ බහුපාර්ශ්වික මූල්‍ය ආධාරකයන්ගේ සහතික සහ රජයේ ණය ප්‍රතිසංස්කරණ ප්‍රකෘතිමත් ලෙස සිදුවන ආකාරය පෙන්විය යුතු බවකි. එමෙන්ම ආණ්ඩුවට විශාල බරක්ව ඇති ශ්‍රී ලන්කන් ආයතනය වහාම ප්‍රතිව්‍යුහගත කළ යුතු බවද මූල්‍ය අරමුදලේ කොන්දේසියක් වී තිබේ.
ඒ අනුව, මෙම කොන්දේසි හරහා එකක් පැහැදිලිය. ඒ, පළාත් පාලන මැතිවරණය අවසන් වූ වහා දැනෙන ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවකි.

මතගැටුමක් සිදුවෙලා

මේ සියල්ල පසුපස කිසිවකු නොදන්නා බරපතළ කාරණාවක්ද තිබේ. ඒ, මේ වනවිට ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කිසියම් ප්‍රශ්නකාරී වාතාවරණයක් මතුවීමට පටන්ගෙන තිබීමය. අපට ඇති තොරතුරුවලට අනුව මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුවට දන්වා තිබූ කොන්දේසියක් බරපතළ ලෙස උල්ලංඝනය වීම මෙම ආරෝවට හේතු වී තිබේ. මීට මාස කීපයකට පෙර මූල්‍ය අරමුදල ආණ්ඩුවට කළ දැනුම් දීමකින් කියැවී ඇත්තේ කිසිදු ලෙසකින්වත් ව්‍යාපාරිකයන්ට හෝ ආයෝජකයන්ට බදු සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකළ යුතු යැයි කියාය. එවැනි බදු සහන ලබාදෙන ආකාරයේ කිසිදු කටයුත්තකට ආණ්ඩුව අත නොගැසිය යුතු බව එම කොන්දේසියෙන් කියැවී තිබිණි. එමෙන්ම ඊට අදාළ බදු සහන නොදීමේ ප්‍රතිපත්තියක් හෙවත් ‘ටැක්ස් එක්ස්සෙම්ෂන් පොලිසි’ එකක් ආණ්ඩුව සකස් කළ යුතු බවද මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැනුම් දී තිබිණි.

කොන්දේසිය කඩයි

නමුත් එසේ තිබියදී මීට මාස කීපයකට පර එක්තරා බරපතළ සිදුවීමක් සිදුව තිබිණි. ඒ, දේශීය ආයෝජකයකු හරහා පැමිණි එක්තරා විදේශ ආයෝජකයකුට මහාපරිමාණයේ බදු සහන ලබාදී නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ආණ්ඩුව අවස්ථාව ලබාදී තිබීමය. මේ තත්ත්වය වාර්තා වීමත් සමග මූල්‍ය අරමුදල ආණ්ඩුවට දැඩි කොන්දේසියක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ වහාම මෙම විදේශ ආයෝජනය අත්හිටුවීමට කටයුතු කළ යුතු යැයි කියාය. නමුත් මූල්‍ය අරමුදලේ එම කොන්දේසිය මායිම් නොකරමින් ආණ්ඩුව කියා ඇත්තේ එකඟතාවන්ට අනුව මින් ඉදිරියට ආයෝජනවලට බදු සහන ලබා නොදීමට කටයුතු කරන නමුත් මේ අවස්ථාවේදී පමණක් එම කොන්දේසිය ලිහිල් කරන ලෙසටය. නමුත් ඊට මූල්‍ය අරමුදලේ එකඟතාව හිමිව නොමැති බව පැවසේ. ඒ අනුව මෙම සිදුවීමත් සමග ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර තිබූ ඇයිහොඳයිය කිසියම් ආකාරයකින් පළුදු වී ඇති බවක් ආරංචිය.

ඒ සමගම විදුලි බිලේ ප්‍රශ්නයද කරළියට පිවිසීම හේතුවෙන් මූල්‍ය අරමුදලේ නව නියෝජිතවරයා විසින් නිකුත් කළ ප්‍රකාශයත් සමග ඉදිරියේදී ආණ්ඩුවට මූල්‍ය අරමුදලෙන් දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එය බොහෝ දුරට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එල්ලවනු ඇති එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

තීරු බදු සාකච්ඡා

අනෙක් පැත්තෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ලංකාව ඉලක්ක කර පැනවූ 44%ක තීරුබදු ප්‍රතිශතය ඉවත්කර ගැනීම සඳහා ඇමෙරිකානු නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට ගිය ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවේදී සිදුකළේ කුමක්ද? පසුගිය සතියේදී අප මෙම තීරයෙන් පෙන්වා දුන්නේ මෙම සාකච්ඡා සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මහාභාණ්ඩාගරයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගි වී සිටි බවකි. මෙම සාකච්ඡාවේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ පසුබිමක පසුගිය සතියේ ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේදී කළ කතාවකින් කියැවුණේ එම සාකච්ඡා ඉතා සාර්ථක බවත්, එදිනම දෙපාර්ශ්වයම එකඟතාවකින් යුත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වීමට නියමිත බවත්ය. ඊට මෙරට මාධ්‍යවල පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යවලද විශාල ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ වනවිටත් එවැනි එකඟතාවක් ඇතිකරගෙන නොතිබීම නිසා එම ප්‍රවෘත්තිය වහාම මෙරට බලධාරීන් විසින් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරටද වාර්තා කිරීමට පියවර ගෙන තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

එහි ප්‍රතිඵලය වූයේ ට්‍රම්ප් ආණ්ඩුව එකඟ වී නොතිබූ කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කරුණු සඳහන් කර තිබීම හේතුකොට ගෙන වොෂින්ටන් බලධාරීන්ද යම් කලකිරීමකට පත්වීමත්, ජනාධිපතිවරයා කී ආකාරයට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් නොවීමත්ය.

මේ ආකාරයට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් නොවීමත් සමග ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් දින කීපයකට පසු නිවේදනයක් නිකුත් කළ අතර, ඉන් කියැවුණේ ආණ්ඩුව මගින් යෝජනාවලියක් වොෂින්ටන් බලධාරීන්ට ඉදිරිපත් කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ අරමුණෙන් සාකච්ඡා ඉදිරියට පත්වාගෙන යෑමට එකඟතාව පළවූ බවත්ය.

ඇත්තටම වෙච්ච දේ

නමුත් මෙම නිවේදනය නිකුත් වී දින කීපයකට පසු වොෂින්ටනයේදී සාකච්ඡා සඳහා සහභාගි වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුව යෝජනාවලියක් වොෂින්ටන් බලධාරීන්ට ලබාදුන් බවත්, ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් ආණ්ඩුව බලාසිටින බවත්ය. ඒ හරහා ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ කළ ප්‍රකාශය හා වොෂින්ටන් සාකච්ඡාවලට සහභාගී වූ හර්ෂණ අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතර පැහැදිලිවම පරස්පරයක් ඇති බවක් දැකගන්නට ලැබිණ.

කෙසේවතත් මේ සම්බන්ධයෙන් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ දින 90ක් ඇතුළත ට්‍රම්ප් පැනවූ තීරුබදු ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයක් මෙම සාකච්ඡාවේදී ගෙන නොමැති බවකි. අප ඉකුත් සතියේදී කී ආකාරයටම සාකච්ඡාවේදී ලංකාවෙන් ඊට සම්බන්ධ වූ පිරිස ඇමෙරිකාවෙන් තෙල්, ගෑස්, වාහන ආදිය වැඩිපුර මිලදී ගැනීමට සූදානම් බවත්, ඇමෙරිකානු භාණ්ඩවලට පනවා ඇති 88%ක බදු ප්‍රතිශතය 0% දක්වා පහත හෙළීමට සූදානම් බවත් යෝජනා කිරීම හැර වෙනත් කිසිවක් සිදුව නැත.

මේ ආකාරයට දෙරටට අවසන් තීන්දුවකට නොපැමිණීමට බලපා ඇති කරුණු බොහෝ තිබේ. ලංකාව පමණක් නොව ලොව රටවල් සියල්ලක්ම පාහේ මේ වනවිට ඇමෙරිකාව සමග දිගින් දිගටම සාකච්ඡා කරන්නේ තම රටවලට පනවා ඇති තීරුබදු අඩුකර ගැනීම සම්බන්ධයෙන්ය. එම නිසා ඇමෙරිකාව ප්‍රමුඛතාව දී තිබෙන්නේ වෙළෙඳ ගනුදෙනුවලදී පමණක් නොව, සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලදී වැඩි වටිනාකමක් සහිත රටවල් සමග පළමුව සාකච්ඡා කොට මෙම තීරුබදු ප්‍රතිශතයන් වෙනස් කරගැනීමටය. ඒ අනුව එම ලැයිස්තුවේ ලංකාව සිටින්නේ ඉතා පහළ තැනකය. ඇමෙරිකාව සමග ලංකාවට එකඟතාවකට පැමිණීමට තරමක් කල්ගතවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ ඒ නිසාය. ඒ අනුව, අයි.එම්.එෆ්. අර්බුදයත් සමග ට්‍රම්ප්ගේ තීරුබදු අර්බුදයද පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුවට මුහුණ දීමට ඇති ප්‍රධාන අර්බුදයන්ය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ තීරුබදු ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ලිපි මගින් යෝජනා යවනවාට වඩා ඒවා ප්‍රායෝගිකව ඉටුකොට පෙන්වන තත්ත්වයක් යටතේ මෙම බදු ප්‍රශ්නය ගොඩින් බේරාගත හැකි බවකි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මත මේවායේ ඇති ප්‍රතිවිපාකයන් අවම කරගත හැකි බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

මහින්ද යනවා

මේ සියලු කරුණු කාරණා යටතේ කොරෝනා අර්බුදය සහ ගෝඨාභය රාජපක්ෂ පාලන සමය යටතේ බංකොලොත් වූ රට යළි ගොඩගැනීම සඳහා තීරණාත්මක දායකත්වයක් සැපයූ ප්‍රධාන පුද්ගලයකු මේ මස අවසානයේ සිය තනතුරින් නික්ම යෑමට නියමිතය. ඒ, වෙන කවුරුවත් නොව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාද වන මහින්ද සිරිවර්ධන මහතාය. ගෝඨාගේ පමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී පවා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් මහින්ද සිරිවර්ධන කටයුතු කරද්දී විපක්ෂයේ සියලු දෙනාගේම දැඩි විරෝධයට ලක්වූ අයකු ලෙස එකල මහින්ද සිරිවර්ධන ප්‍රකටය. ඒ, රනිල්ගේ වුවමනාව මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් වෙන් නොකිරීමට මහින්ද 2023දී කටයුතු කළ බවට චෝදනා එල්ල වීමය. එහිදී විපක්ෂයේ ප්‍රධානීන් මහින්දව දැඩි විවේචනයට ලක්කළා පමණක් නොව ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පවා යොමුවිය.
නමුත් මාලිමා ආණ්ඩුව බලය ලබාගත් පසු මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුරින් මහින්ද සිරිවර්ධනව ඉවත් කිරීමට කටයුතු කළේ නැත. ඒ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහින්ද සිරිවර්ධන මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි ආයතන සමග ඉතා සමීපව කටයුතු කිරීම නිසාය. කොටින්ම කියනවා නම් රනිල් ගෙනා ආර්ථික ප්‍රතිපත්තිය එක් අකුරකින් හෝ වෙනස් නොකොට ඒ ගෙනා පීල්ලේම ඉදිරියට ගෙන යෑමට මහින්ද සිරිවර්ධන කටයුතු කර තිබිණ. නමුත් මේ මස අවසානයේදී මහින්ද සිරිවර්ධන සූදානමින් සිටින්නේ සිය තනතුරෙන් විශ්‍රාම යෑමටය. ඒ බව මහින්ද මාස කීපයකට පෙරාතුව ආණ්ඩුවට දැනුම් දී තිබූ අතර, එය අප එකල විශේෂ පුවතක් ලෙස ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමටද පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ තමන් විශ්‍රාම යන බව මහින්ද ආණ්ඩුවට පමණක් නොව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පවා දැනුම් දී තිබූ බවකි.

පිලිපීනෙන් තනතුරක්

කෙසේ වෙතත් මහින්ද සිරිවර්ධන මේ මස අවසානයේදී විශ්‍රාම යන බව වාර්තා වීමත් සමග කලබලයට පත්ව සිටි ව්‍යාපාරික ප්‍රජාව වහාම ඒ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමට පියවර ගෙන තිබූ බවක්ද ආරංචිය. එහිදී ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන්ට දැනුම් දී ඇත්තේ මහින්ද සිරිවර්ධන යනු ඉතා දක්ෂ නිලධාරියකු බවත්, ඔහුට විශ්‍රාම යෑමට ඉඩ නොදී තවදුරටත් එම ධුරයේ තබාගැනීමට කටයුතු කරන බවත්ය. නමුත් මහින්ද මේ වනවිට තීන්දු කොට ඇත්තේ නියත වශයෙන්ම එලඹෙන මැයි 31 වැනි දින සිය ධුරයෙන් විශ්‍රාම යෑමටය. ඒ අනුව ඔහු ජුනි 01 වැනිදා සිට ආසියානු සංවර්ධන බැංකුවේ පිලිපීනය භාර විශේෂ තනතුරක් සඳහා නිර්දේශ වී ඇති බවක් දැනගන්නට තිබේ. නමුත් බොහෝ දෙනා කියන්නේ ඉදිරි මාස කීපය ඇතුළත ආණ්ඩුවට මුහුණ දීමට ඇති ප්‍රබල අනතුර දැක දැක මෙසේ මහින්ද සිරිවර්ධන සිය ධුරයට සමුදීමට කටයුතු කර ඇතැයි කියාය.

මේ අනුව මහින්දගෙන් හිස්වන තනතුරට පත්වන්නේ කවුද? මීට පෙර වාර්තා වී තිබුණේ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකවරයකු වන දුමින්ද හුළංගමුව මහතා ඊට පත්කෙරෙනු ඇති බවකි. නමුත් පසුව ඔහු එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවක්ද ආරංචිය. ඒ අනුව ආණ්ඩුව මේ දිනවල තවත් ප්‍රකට චරිත කීපයකට ඒ සඳහා ආරාධනා කර ඇති නමුත් ඉන් කීප දෙනෙක්ම එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබූ බවක් දැනගන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුවට මැතිවරණයෙන් පසු යෑමට ඇත්තේ අතුරේ යනවා හා සමාන ගමනකය.

මැයි රැලි කලබල

පළාත් පාලන මැතිවරණයට පෙර කම්කරු දිනය යෙදී තිබුණු බැවින් මෙරට ප්‍රධාන ධාරාවේ සියලු පක්ෂ සැලසුම් කොට තිබුණේ සිය මැයි රැලි ඉහළ ජන සහභාගීත්වයකින් යුක්තව පවත්වා ජනතාවගේ අවධානය තමන් වෙත දිනාගැනීමටය. ඒ අනුව, බලය හොබවන මාලිමා ආණ්ඩුව සිය මැයි රැලිය ගෝල්ෆේස් පිටියේ පැවැත්වීමට තීරණය කොට තිබූ අතර, ප්‍රධාන විපක්ෂය වන සජබය තීරණය කොට තිබුණේ සිය මැයි රැලිය තලවාකැලේ පැවැත්වීමටය. මෙහිදී ගෝල්ෆේස් පිටිය දේශපාලන කටයුතු සඳහා භාවිත කිරීම අරගලයෙන් පසු කැබිනට් තීන්දුවක් මගින් තහනම් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට තිබුණද, එම තහනම කැබිනට් තීන්දුවක් මගින්ම ඉවත් කොට ගෝල්ෆේස් පිටිය සිය මැයි රැලිය සඳහා වෙන්කර ගැනීමට මාලිමාව කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් වන්නේ මෙවර මාලිමාවේ ගෝල්ෆේස් මැයි රැලියට අනෙකුත් පක්ෂවලට වඩා විශාල ජනතාවක් එක්ව සිටි බවකි.

හයිවේ කෑම

කෙසේ වෙතත් මෙවර ඒ ඒ පක්ෂවල මැයි රැලි මුල්කරගෙන සමාජ මාධ්‍යවල විවිධ කතාබහක් සිදුවූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී මාලිමාව පැත්තෙන් සමාජ මාධ්‍යයේ වැඩිපුරම කතාබහට ලක්වූයේ මැයි රැලියට බස් රථවලින් ගෙන්වූ ජනතාව අධිවේගී මාර්ගයේ යද්දී එම බස් රථ අතරමග නවත්වා කෑම බීම ගැනීමට කටයුතු කොට තිබූ ආකාරයය. ඊට සමාජ මාධ්‍ය ජාලවලින් විශාල ප්‍රහාරයක් එල්ල වූ අතර, වහාම ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවද කියැවිණි.

මීට අමරතව මෙතෙක් කල් ජවිපෙ මැයි රැලිවලදී දැකගන්නට නොලැබුණු සිදුවීමක්ද මෙවර දැකගත හැකි විය. සාමාන්‍යයෙන් වෙනදා පවත්වන මැයි රැලිවලදී ජවිපෙ ඉතා සංවිධානාත්මකව එය පැවැත්වීමට කටයුතු කළද, මෙවර ආණ්ඩු බලය ගැනීමෙන් පසු පැවැත්වූ පළමු මැයි රැලියේදීම අනෙකුත් දේශපාලන පක්ෂවල මෙන් බීමතින් සිටි පුද්ගලයන් සහ මෝලම් ගසමින් නර්තනයේ යෙදුණු පිරිස්ද දැකගත හැකි විය.

ෆොටෝ එකට කැපිල්ලක්

ඊළඟ සිදුවීම වූයේ ජනාධිපතිවරයා සිය කතාව සිදුකරමින් සිටින අතරවාරයේ ගත් ඡායාරූපයකි. එම ඡායාරූපය ගෙන තිබුණේ මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක සේවය කරන ඡායාරූප මාධ්‍යවේදියෙකි. එම මාධ්‍යවේදියා පසුව එම ඡායාරූපයේ ඇති විශේෂත්වය නිසාම එය සිය ෆේස්බුක් පිටුවේ පළකිරීමට කටයුතු කොට තිබිණි. කෙසේ වෙතත් ඊට සමාජ මාධ්‍යයේ විශාල ප්‍රචාරයක් හිමිවීමත් සමග ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් එම මාධ්‍යවේදියා සේවය කරන මාධ්‍ය ආයතනයට දුරකතන ඇමතුමක් ලැබිණි. ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඉහළ නිලධාරියෙක් ගත් එම දුරකතන ඇමතුමෙන් කියැවුණේ අදාළ ඡායාරූපයෙන් ජනාධිපතිවරයාට අපහාසයක් වන ආකාරයක් දැකගැනීමට ඇති නිසා වහාම එය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසටය. ඒ අනුව එම මාධ්‍ය ආයතනයෙන් වහාම ඡායාරූප මාධ්‍යවේදියාට කතාකොට ජනාධිපතිවරයාගේ ඡායාරූපය ෆේස්බුක් ගිණුමෙන් ඉවත් කරගැනීමට දැනුම් දී තිබූ අතර, ඒ අනුව ඔහුද අදාළ ඡායාරූපය ගලවා දැමීමට පියවර ගෙන තිබිණි.

නමුත් ඔහු එම ඡායාරූපය ඉවත් කොට ඒ සම්බන්ධයෙන් විශේෂ සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ තැබීමට කටයුතු කොට තිබිණි. එහි සඳහන්ව තිබුණේ, ‘ඡායාරූපයක අන්තර්ගතය කියැවීම තමාගේ මතය අනුව වෙනස් වේ. ෆොටෝ එක අයින් කිරීමට සිදුවිය.’ යැයි කියාය.

ඒ සමගම මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන් පමණක් නොව සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයන්ද සිය ෆේස්බුක් පිටුවල අදාළ ඡායාරූපය පළකරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය කර තිබූ දැනුම් දීමට දැඩි විරෝධයක් පළකළ ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ ආකාරයට සමාජ මාධ්‍යයේ විශාල අවධානයක් මෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකයේ උදහසට ලක්වූ මෙම ඡායාරූපය පහත දැක්වේ.

සජිත් ගියේ ඇයි?

මේ ආකාරයට මාලිමාවේ මැයි රැලිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ කතා මතුවෙද්දී තලවාකැලේ පැවැති සජබ මැයි රැලියේදීද විශේෂ සිදුවීමක් සිදුව තිබිණි. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව අවසන් කොට වේදිකාවෙන් බැස පිටව යෑමත් සමග රැලියට සහභාගි වී සිටි විශාල පිරිසක්ද රැස්වීම් භූමියෙන් පිටව යෑමය. ඒ වනවිටත් ප්‍රධාන කථිකයන් කීප දෙනෙක්ම කතාකිරීමට ඉතිරිව තිබියදීත් මෙම සිදුවීම වාර්තා වීම නිසා සමාජ මාධ්‍යයේ ඊට විශාල ප්‍රචාරයක් ලැබී තිබූ ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මීට බලපා තිබුණේ වෙනත් හේතුවකි. පළාත් පාලන මැතිවරණයේ අවසන් දින කීපය වීම නිසා සජිත්ට මැයි පළමු වැනි දින විශේෂ වැඩ රාජකාරි කීපයක්ම යෙදී තිබිණි. ඉන් පළමු වැන්න වූයේ උදෑසනින්ම සිය පියාගේ ගුණානුස්මරණයට සහභාගි වීමය. ඉන් අනතුරුව තලවාකැලේ මැයි රැලියට සහභාගි වීමට නියමිතව තිබූ අතර, ඉන් පසු කොළඹදී සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් සමග සම්මුඛ සාකච්ඡාවකුත්, රාත්‍රියේදී දෙරණ 360 වැඩසටහනට සහභාගි වීමටත් සජිත් යොදාගෙන තිබිණි. කාර්යබහුල කාලසටහනක් වීම නිසා සජිත් එදින තලවාකැලේ යෑමට සැලසුම් කර තිබුණේ හෙලිකොප්ටරයෙනි. නමුත් ඊට පෙර දින නුවරඑළිය ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පැවැතීම නිසා ගුවන් නිලධාරීන් දැනුම් දී තිබුණේ මැයි 01 වැනිදාද වර්ෂාව පතිත වුවහොත් ගුවන් ගමන අත්හිටුවීමට සිදුවනු ඇති බවකි. නමුත් පළමු දා යහපත් කාලගුණ තත්ත්වයක් පැවැතීම නිසා උදෑසන ප්‍රේමදාස ගුණානුස්මරණයට සහභාගි වී සජිත් කෙළින්ම ගුවන් මගින් තලවාකැලේ බලා පිටත්ව ගියේය. නමුත් ගැටලුව පැනනැගුණේ මැයි රැලිය ආරම්භ වීමට ප්‍රථව තලවාකැලේ ප්‍රදේශයේ කාලගුණය වෙනස් වීමට පටන්ගෙන තිබීම නිසාය. ඒ අනුව හෙලිකොප්ටරයේ නියමුවන් සජිත්ට වහා දැනුම් දුන්නේ හැකි ඉක්මනින් යළි පිටත්විය යුතු බවත්, එසේ නොවුණහොත් ගුවන් ගමන අත්හිටුවීමට සිදුවනු ඇති බවත්ය. මේ නිසාම වේදිකාව මත හිඳිමින්ම සජිත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දැනුම් දුන්නේ තමන්ට වහාම කොළඹ බලා පිටත්ව යෑමට අවශ්‍ය නිසා සිය කතාව අවසන් කළ සැණින් තමන් කොළඹ බලා පිටත්ව යන බවකි. නමුත් තමන්ගේ නික්ම යෑමත් සමග පාක්ෂිකයන්ද රැස්වීම් භූමියෙන් ඉවත්ව යනු ඇති බවක් සජිත් සිතා සිටියේ නැත.

කෙසේ වෙතත් මෙම සිදුවීමටද සමාජ මාධ්‍ය ජාලවල විශාල ප්‍රචාරයක් හිමිවෙද්දී ඊට ප්‍රතිචාර දක්වමින් සජබ තරුණ ක්‍රියාකාරිකයකු වන චරිත් අබේසිංහ සිය ෆේස්බුක් පිටුවේ සටහන් කොට තිබුණේ ‘සජබෙ කියන්නේ සජිත් තමයි’ යැයි කියාය.

360දී යෝකර් එකක්

ඒ අනුව කොළඹ පැමිණි සජිත් එදින රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ කලිඳු කරුණාරත්න විසින් මෙහෙයවූ 360 වැඩසටහනට සහභාගි වීමට පියවර ගත්තේය. මෙහිදී කලිඳු ඇසූ බොහෝ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දෙමින් සිටි අතරවාරයේ වරක් කලිඳු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ ප්‍රශ්නයක් සජිත්ට යොමු කළේය. ඒ, සජිත් නිතරම දේශපාලන වේදිකාවේදී මතුකරන 2033දී විදෙස් ණය ගෙවීම ආරම්භ කරන ලෙස මූල්‍ය අරමුදල යෝජනා කරද්දී රනිල් වික්‍රමසිංහ මහතා එය 2028ට ගෙන රට අර්බුදයක සිරකිරීමට පියවර ගත් කතාවය. කලිඳු මෙම ප්‍රශ්නය මතුකරද්දී සජිත් තමන් කළ කතාව නිවැරැදි බව සඳහන් කළද, කලිඳු කියා සිටියේ මීට පෙර මෙතැනටම පැමිණි සජබ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වාට මෙම ප්‍රශ්නය යොමුකරද්දී තමන් එවැන්නක් නොදන්නා බව ප්‍රකාශ කළේ යැයි කියාය. එහිදී සජිත් පැහැදිලිවම කියා සිටියේ තමන් කෙදිනකවත් බොරු නොකියන දේශපාලනඥයකු බවකි. මේ මොහොතේ තමන් සතුව ඊට අදාළ ලිපි ලේඛන නොමැති බවත්, අවශ්‍ය නම් පසුව එම ලිපිගොනු ලැබෙන්නට සැලැස්විය හැකි බවත් සජිත් කියද්දී කලිඳු කියා සිටියේ එය පිළිගත නොහැකි බවත්, මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ නොහැකි නම් ජනතාව එය අසත්‍යයක් සේ සලකනු ඇති බවත්, පසුව ඊට අදාළ ලිපිගොනු ඉදිරිපත් කොට පලක් නොමැති බවත්ය.

කෙසේ වෙතත් සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ඇදීයන අතරවාරයේ සජිත් කළේ සිය කාර්යමණ්ඩලයට පණිවුඩයක් තබමින් වහාම ඊට අදාළ ලිපි ලේඛන තමන්ට ලැබෙන්නට සලස්වන ලෙස දැනුම් දීමය. ඒ අනුව විනාඩි කීපයක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම ඒ බව සඳහන් කරමින් නිකුත් කොට තිබූ රහසිගත වාර්තාව 360 මැදිරියට ගෙන්වා ගැනීමට සජිත් කටයුතු කළේය. එපමණක් නොව ඊට අදාළ කොටස කියවන ලෙස කලිඳුට ලබාදීමටද සජිත් පියවර ගත්තේය. එම කොටස සජීවීව කියවූ කලිඳු මහත් පුදුමයට පත්ව විපක්ෂ නායකවරයා නිවැරැදි බවත්, එම නිසා ඊට අදාළ කොටස විපක්ෂ නායකවරයා විසින්ම රටට ප්‍රකාශ කරන ලෙසත් දැනුම් දී සිටීමට පියවර ගත්තේය. ඒ අනුව සජිත් ‘අතිශය රහසිගතයි’ යන ශීර්ෂය යටතේ පැවැති එම කොටස කියැවූයේ තමා කළ ප්‍රකාශය 100%ක්ම නිවැරැදි බව තහවුරු කරමිනි.

කෙසේවෙතත් මෙම තොරතුර ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා නොදැන සිටියා විය නොහැක. එසේ නම් ඊට පෙරාතුව හර්ෂ ඒ බව නොකියා සිටියේ එක්කෝ විපක්ෂ නායකවරයා අපහසුතාවට පත්කිරීමේ අරමුණෙන් විය යුතුය. එසේත් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමේ අරමුණෙන් විය යුතුය. ඒ කොයිහැටි වෙතත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණයෙන් පසු සජිත් දැඩි තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවක්ද ආරංචිය.

පාස්කු මහමොළකාරයා

2019න් පසු ආණ්ඩු කීපයක්ම පෙරළීමට සමත් වූ ප්‍රධානම මාතෘකාවක් වූයේ පාස්කු ප්‍රහාරයය. යහපාලන සමයේ සිදුවූ මෙම පාස්කු ප්‍රහාරය යහපාලන ආණ්ඩුව පෙරළීමට සමත් වූ අතර, ගෝඨා ජනාධිපති වීම සඳහා එය මහත් උත්තේජනයක් සැපයීය. ගෝඨා ඇතුළු පොහොට්ටුව එදා කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා ඔවුන්ට දඬුවම් කිරීමට පියවර ගන්නා බවය. නමුත් ගෝඨාගේ ආණ්ඩුවෙන් එවැන්නක් සිදු නොවීය. ගෝඨාගෙන් පසු බලයට ආ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවද පාස්කු මහමොළකරුවන් ගැන සෙව්වේ නැත. මේ නිසාම මාලිමාවේ ප්‍රබලයන් නැවතත් බලය ගැනීම සඳහා කරළියට ගෙනාවේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ය. වරක් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කාදිනල් හිමියන් හමුවී පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නීතිය ඉදිරියට ගෙන එන බවට ප්‍රතිඥාවක් ලබාදීමට පව පියවර ගත්තේය.

එෆ්.බී.අයි. අනාවරණය

කෙසේ වෙතත් ආණ්ඩු කීපයක්ම මේ ආකාරයට 2019 සිට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන කියද්දී පසුගිය සතියේ අප විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ අදාළ ප්‍රහාරය එල්ල වීමත් සමග ලංකාවට ආ 33 දෙනකුගෙන් සමන්විත ඇමෙරිකානු රජයේ එෆ්.බී.අයි. නියෝජිතයන් කණ්ඩායමක් මාස 3ක් තිස්සේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක නිරත වූ බවකි. කේළාම්, ඕපාදූප මත නොව, සහරාන් ඇතුළු කණ්ඩායමේ දුරකතන, ලැප්ටොප් ආදිය දීර්ඝ විමර්ශනයකට ලක්කරමින් ඔවුන් මෙම විමර්ශනය කර තිබිණි. ඊට බලපෑ විශේෂ හේතුවක්ද විය. ඒ, මෙම පාස්කු ප්‍රහාරය පසුපස ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන අයි.එස්.අයි.එස්. සංවිධානය සිටින බවට ඔවුන්ට තොරතුරු වාර්තා වී තිබීමය. අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් බරපතළම තර්ජනය ඇමෙරිකාවට එල්ල වී තිබීම නිසා එෆ්.බී.අයි. නිලධාරීන් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ඊට හේතුව වී තිබිණි. ඒ අනුව දීර්ඝ විමර්ශනයකින් පසු සහරාන් ඇතුළු කණ්ඩායමට තිබූ අයි.එස්.අයි.එස්. සබඳතා සහ එම ප්‍රහාරයට මුදල් පොම්ප කළ පිරිස් පිළිබඳ දීර්ඝ විස්තරයක් එෆ්.බී.අයි. බලධාරීන් විසින් ඇමෙරිකානු රජයට ලබාදී තිබිණි. එහි පැහැදිලිවම සඳහන් කොට තිබුණේ සහරාන් මොහොමඩ් කාසිම් හෙවත් මොහොමඩ් සහරාන් හෂීම් එහි මහමොළකරුවන් යැයි කියාය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු දිස්ත්‍රික් උසාවිය ඉදිරියේ පැවරූ නඩුවේද ඔවුන් සඳහන් කර ඇත්තේ සහරාන් හෂීම් එහි මහමොළකරු යැයි කියාය.

ට්‍රම්ප්ට කේන්ති යයිද?

නමුත් එසේ තිබියදී පාස්කු ප්‍රහාරයට වසර 6 පිරුණු පසුගිය 21 වැනිදා නැවත වතාවක් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ සංවාදයක් මතුවිය. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ ලංකාවට මේ වනවිට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ, ලොවම පිළිගන්නා එෆ්.බී.අයි. ආයතනය මගින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා කවුරුන්ද යන්න නිශ්චිතවම පැහැදිලි කොට තිබියදී ඉන් එපිට තවත් මහමොළකරුවකු සිටින බවට දේශපාලන වශයෙන් සටන් පාඨයක් නිර්මාණය කර තිබීම නිසාය. ඒ හරහා ව්‍යංගයෙන් කියැවෙන්නේ එෆ්.බී.අයි. වාර්තාව අසත්‍යයක් යන්නය. එවැන්නක් ලංකාව තීරණය කළහොත් ඇමෙරිකාව සහ ඇමෙරිකාව යටතේ පවතින එෆ්.බී.අයි. ආයතනය එය සුළුකොට තකනු ඇති බවක් සිතිය නොහැකිය. මන්ද යත් තවත් මහමොළකරුවකු සිටින බව කීම හරහා ලෝ ප්‍රකට එෆ්.බී.අයි. ආයතනය හෑල්ලු වීම නිසාය. ඒ හරහා ඇමෙරිකාව සමග අලුත් ප්‍රශ්නයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක.

මේ බව පසුගිය සතියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සඳහන් කර සිටියේය. රනිල්ද කියා සිටියේ එෆ්.බී.අයි. ආයතනය මහමොළකරු නම්කර තිබියදී තවත් මහමොළකරුවකු සිටින බව කීම හරහා ට්‍රම්ප් රජය තරහා කරගැනීමට කටයුතු කරනවා යැයි කියාය. එසේ වුවහොත් එය තීරුබදු අඩුකර ගැනීම සඳහා ට්‍රම්ප් රජය සමග කරන සාකච්ඡාවන්ට බාධාවක් විය හැකි බවද රනිල් පෙන්වා දුන්නේය.

කපිල පුංචිමාන්නගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here