කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් හි සාමාන්‍යාධිකාරීවරයා ඇපමත මුදා හරියි!

0
3

අනතුරට පත් වාහන සඳහා රක්ෂණ වන්දි ගෙවීමට අදාල රස පරීක්ෂක වාර්තා ලබා ගැනීමේ දී රජයේ අතිරේක රස පරීක්ෂකවරයාට අල්ලස් ලබාදීම හා දූෂණය යන වරදට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ රිමාන්ඩ් බාරයට පත්ව සිටි කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි (Continental Insurance Lanka Limited) සාමාන්‍යාධිකාරිවරයා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (02) නියෝග කළේය.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි (Continental Insurance Lanka Limited) සාමාන්‍යාධිකාරී ඉංජිනේරු හිටිහාමිලාගේ සනත් ප්‍රියන්ත රණවීර නම් සැකකරු මෙසේ ඇපමත මුදා හැරුණි.

පුද්ගලික රක්ෂණ සමාගම රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ දී පැමිණිල්ලේ පළමු සැකකරු වන විශ්‍රාමලත් රජයේ අතිරේක රස පරීක්ෂක ජයමාන්න යන අයගේ සේවය ලබා ගැනීම නිත්‍යානුකූල ව සිදුකර ඇතැයි සඳහන් කරමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කෙරිණි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා නිත්‍යානුකූල නොවන ආකාරයට වාර්තා ලබාගැනීම සඳහා රුපියල් ලක්ෂ 64කට අධික අල්ලස් මුදලක් පිරිනැමීම සහ දූෂණය වරදට ආධාර අනුබල දීමේ චෝදනා මත සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Continental Insurance Lanka Limited) හි ප්‍රධාන විධායක නිලධාරී මයිලන්ආරච්චිගේ දොන්වෙන්සස්ලාවුස් ජෙරඩ් ලාසරස් ගුණදාස හෙවත් ජෙරී ගුණදාස මහතාව ද නියෝජ්‍ය සභාපති ගනේආරච්චිගේ දේශංකර් චමින්ද ද සිල්වා මහතා ද අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here