කොඩිගහ යට බලය කාටද? මාලිමාවටද? විපක්ෂයටද? Sri Lanka Latest News

0
2


ප්‍රාදේශීය ආණ්ඩුවල බලගතුම ප්‍රාදේශීය ආණ්ඩුව වන්නේ කොළඹ මහනගර සභාවයි. කොළඹ මහනගර සභාවේ බලය ලබාගන්නේ කවුද යන කාරණය ගැන මෙරට ජනතාව පමණක් නොව විදේශ රටවල්ද දැඩි උනන්දුවක් දක්වන්නේ කොළඹ වාණිජ නගරයේ හදවත කොළඹ මහනගර සභාව බැවිනි. Sri Lanka Latest News

නමුත් මෙවර පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගර සභාවේ බලය හිමිවන්නේ කාටදැයි කියා තවම නිශ්චිතව කිව නොහැකිය.
ඊට හේතුව පුංචි ආණ්ඩුවේ 50%ක බහුතරය ලබාගැනීමට කිසිදු දේශපාලන පක්ෂයකට නොහැකි වීමයි.
ජාතික ජන බලවේගය නොහොත් මාලිමාව කොළඹ මහනගර සභාව ජයග්‍රහණය කළද එහි ඡන්ද ප්‍රතිශතයෙන් 50%ක් ඡන්ද ලබාගෙන කොළඹ මහනගර සභාවේ බහුතර බලය ලබාගැනීමට මාලිමාවට නොහැකි වී තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 262 වැනි අධිකාරියේ හැටියට යම් පළාත් පාලන ආයතනයක බලය ලබාගැනීමට නම් එම ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 50%ක් ලබාගත යුතුය.
කොළඹ මහනගර සභාවේ සභික ධුර සංඛ්‍යාව 117කි. ආසන්න වශයෙන් සභික ධුර 60ක්වත් ලබාගෙන බහුතරය පෙන්වා කොළඹ මහනගර සභාවේ බලය හිමිකරගත යුතුව ඇත.

නමුත් ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ සභික ධුර 48ක් පමණි. ඒ අනුව ජාතික ජන බලවේගයට තවත් සභික ධුර 12ක්වත් ලබාගත යුතුයි. එම සංඛ්‍යාව ඔවුන්ට සපුරා ගැනීමට සිදුව තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ සභිකයන්ගෙනි. එය සපුරා ගැනීමට හැකි වේද?
සමගි ජන බලවේගයට හිමිව ඇති සභික ධුර සංඛ්‍යාව 29කි. එක්සත් ජාතික පක්ෂය සභික ධුර 13ක් දිනාගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇති සභික ධුර සංඛ්‍යාව 05කි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්ද, අංක 03 ස්වාධීන කණ්ඩායමට සභික ධුර 03ක්ද, සර්ව ජන බලයට සභික ධුර 02ක්ද, අංක 04 සහ අංක 05 ස්වාධීන කණ්ඩායම්වලට සභික ධුර 02 බැගින් හිමිව තිබේ.

ඊට අමතරව ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ සහ අංක 01 සහ අංක 02 ස්වාධීන කණ්ඩායම්වලට සභික ධුර 01 බැගින් හිමිව තිබේ.
මේ අනුව කොළඹ මහනගර සභාවෙන් ජාතික ජන බලවේගය සභික ධුර 48ක් දිනාගන්නා විට විපක්ෂයට සභික ධුර 69ක් ලැබී තිබේ.
කොළඹ පුරපති ධුරය ඇතුළු බලගතුම පුංචි ආණ්ඩුවේ බලය දිනාගැනීමට නම් මාලිමාවට විරුද්ධ පක්ෂයෙන් සභිකයන් පිරිසකගේ සහයෝගය ලබාගැනීම අත්‍යාවශ්‍ය වනු නොඅනුමානය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මාලිමාව ජයග්‍රහණය කළ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරන බවයි.
‘ජනතාව ප්‍රතික්ෂේප කළ සියලු දෙනාම එකට එකතු වුණාට වැඩක් නැහැ. මොකද ජනතාව සිටින්නේ අප සමගයි…’ යනුවෙන් පැවැසුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වායි.
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ කොළඹ මහනගර සභාවේ බහුතරය විරුද්ධ පක්ෂයට ලැබී ඇති නිසා ඒ ජනමතයට අනුව සභාව පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවයි.

නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ විපක්ෂයක් ලෙස සන්ධානගත නොවුණද විපක්ෂයට අවශ්‍ය සහයෝගය අවශ්‍ය අවස්ථාවලදී ලබාදීමට කටයුතු කරන බවයි.
සර්වජන බලයේ නායක දිලිත් ජයවීර ප්‍රකාශ කරන්නේ තම සන්ධානය කිසිවකුටත් මුක්කු ගැසීමක් සිදු නොකරන බවයි.
නමුත් තමන් සහයෝගය ලබාදෙන්නේ ආණ්ඩු පක්ෂයටද විරුද්ධ පක්ෂයටද කියා දිලිත් ජයවීර තවමත් නිල වශයෙන් ප්‍රකාශ නොකිරීමද ගැටලුසහගතය.
ඒ අනුව කොළඹ මහනගර සභාවේ පුරපති කවුද, බහුතර සභික සංඛ්‍යාවක් ලබාගෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවන්නේ කවුද කියා තවම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නොහැකිය.

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් විපක්ෂය රැස්වී කොළඹ මහනගර සභාවේ බලය ලබාගැනීම සඳහා වන සාකච්ඡාවක් පැවැති අතර, සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් විපක්ෂය විසින් තවත් සාකච්ඡාවක් කැඳවා තිබේ.
රනිල්-සජිත්ගේ දේශපාලන අර්බුදය කොළඹ මහනගර සභාවටද අදාළ වුවහොත් කොළඹ පුරපති ධුරය සඳහා මාලිමාවේ අවධානය මේ වනවිටත් දැඩි ලෙස යොමුව තිබේ.
කොළඹ පුරපති ධුරය ලබාගැනීමට දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මෙතරම් උනන්දු වන්නේ ඇයි?

අද ඊයේ නොව එදා සිටම කොළඹ මහනගර සභාවේ බලය ලබාගැනීමට දැඩි උනන්දුවක් දැක්වූයේ කොළඹ වාණිජ නගරය රටේ හදවත වන නිසයි. කොළඹ වාණිජ නගරය රටේ හදවත වන අතර, කොළඹ නගරයේ හදවත වන්නේ කොළඹ මහනගර සභාවයි.

1865 වසරේ නොවැම්බර් මස 25 වැනි දින ප්‍රසිද්ධ කළ සංදේශයක් මගින් කොළඹ මහනගර සභාව ස්ථාපනය කෙරිණි.
කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, කොළඹ කොටුව, ශාන්ත සෙබස්තියම, පිටකොටුව, ශාන්ත පාවුළු පෙදෙස, කොටහේන, නිව් බසාර්, මරදාන යන ප්‍රදේශ එහි මුල්ම නාගරික සීමා විය.

කොළඹ නාගරික මන්ත්‍රීවරුන් ලෙස ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා ඇති පුද්ගලයන් පිළිබඳ ලේඛනයක් සකස් කිරීම සඳහා 1865 වසරේදී පමණ කටයුතු කර තිබිණි.
කොළඹ නාගරික මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා මුල්ම රැස්වීම පැවැත්වුණේ 1866 වසරේ ජනවාරි 12, 13 සහ 15 යන දිනවලදීය.
මෙම රැස්වීම හෙවත් මැතිවරණය පැවැත්වුණේ ආසන 09ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් පත්කර ගැනීමටය. මේ සඳහා කොළඹ නාගරික පොදු මහජනතාව අතර විශාල උනන්දුවක් ඇතිවී තිබූ බවද වාර්තා වේ.

කොළඹ නගර සභාව සඳහා ප්‍රථමවරට ඡන්දයකින් තෝරාගත් මන්ත්‍රීවරුන් ආසන මට්ටමින් පහත සඳහන් කර ඇත.

සී.එල්. ෆර්ඩිනන්ඩිස් (කොල්ලුපිටිය)
දොස්තර ඇෆ්.ඩබ්. විෂ්ස්ෆෝරිඩ් (කොම්පඤ්ඤවීදිය)
ජේ.ඩබ්. චෙන් (කොටුව)
එෆ්.ජේ. ද සේරම් (ශාන්ත සෙබස්තියම)
දොස්තර ජේ.ඩබ්. වෑන් ගේසල් (පිටකොටුව)
එස්. තම්බයියා (ශාන්ත පාවුළු)
සී.ඒ. ලෝරන්ස් (කොටහේන)
ජේ.ඩී. අල්විස් (නිව් බසාර්)
එෆ්.සී. ලෝරන්ස් (මරදාන)

1866 වසරේ කොළඹ මහනගර සභාව ආරම්භයේ සිටම 1937 වසර දක්වා වසර 71ක් කොළඹ මහනගර සභාවේ පාලනය මුළුමනින්ම රැඳී පැවැතියේ යුරෝපීයයන් අතය.
කොළඹ මහනගර සභාවේ ප්‍රථම ලාංකික මන්ත්‍රීවරයා වීමේ ගෞරවය හිමිවන්නේ රතනජෝති සරවනමුත්තුටය.

1937 වසරේදී සරවනමුත්තු එම තනතුරට පත්වන විට නගර සභාවේ සභාපති ධුරය වෙනුවට එම තනතුරෙහි නාමය නගරාධිපති :ඵ්හදර* වශයෙන් වෙනස් කෙරිණි.
එදා සිට අද දක්වා කොළඹ මහනගර සභාව මගින් කොළඹට පමණක් නොව මුළු රටටම සිදුව තිබෙන සේවාවන් අතිවිශාලය.
අදටත් කොළඹ නගරයට දිනපතා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත මහජනතාව වෙනුවෙන් පහසුකම් සැලසෙන යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ කොළඹ මහනගර සභාව මගිනි.
එදා සිට කොළඹ මහනගර සභාව මගින් ඉදිකර ඇති ගොඩනැගිලි සහ එමගින් ලබාදී ඇති පොදු පහසුකම් කොතෙක්ද යන්න කොළඹ නගරයට ඇතුළු වූ විට ප්‍රායෝගිකවම බලාගත හැකිය.

මෙරට ජාතික දේශපාලනය සහ කොළඹ මහනගර සභාව අතරද ඇත්තේ සමීප සබඳතාවකි.
මෙරට දේශපාලනයේ ජාතික මට්ටමේ නායකයන් බවට පත්වූ බොහෝ දෙනකු දේශපාලනයට තම අත්පොත තබා තිබෙන්නේ කොළඹ මහනගර සභාව තුළින් වීම විශේෂත්වයකි.

මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන දේශපාලනයට අත්පොත තැබුවේ කොළඹ මහනගර සභාවෙනි.
1941 වසරේ සිට 1943 වසර දක්වා ග්‍රෑන්ඩ්පාස් නාගරික මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කර තිබුණේ ජේ.ආර්. ජයවර්ධනය.
මෙරට දෙවැනි විධායක ජනාධිපති ධුරයට පත්වූ රණසිංහ ප්‍රේමදාසද දේශපාලනයට අත්පොත තැබුවේ කොළඹ මහනගර සභාවෙනි.
1950 වසරේ සිට 1957 වසර දක්වාත්, 1961 සිට 1965 දක්වාත් ශාන්ත බස්තියම සහ කෙසෙල්වත්ත ආසන නියෝජනය කරමින් රණසිංහ ප්‍රේමදාස කොළඹ මහනගර සභාවට පත්ව සිටියේය.

තවත් දේශපාලන නායකයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක 1926 දෙසැම්බර් 24 වැනිදා කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වන්නේ මරදාන කොට්ඨාසයෙනි.

කම්කරු නායකයකු වූ ඒ.ඊ. ගුණසිංහ කොළඹ මහනගර සභාවේ පුරපති ධුරයට තේරී පත්වන්නේ 1940 වර්ෂයේදීය.
ඊට අමතරව ආර්.ඒ. ද මැල්, වී.ඒ. සුගතදාස, ඒ.එච්.එම්. ෆවුසි, සිරිසේන කුරේ, රත්නසිරි රාජපක්ෂ කොළඹ පුරපති ලෙස කටයුතු කර ඇති දේශපාලනඥයන්ය.
හිටපු කතානායකවරයකු වූ කරු ජයසූරියද කොළඹ පුරපති වශයෙන් කටයුතු කර ඇත්තේය.

කොළඹ මහනගර සභාවේ පළමු පුරපතිනිය වන්නේ මෙරට ප්‍රථම විවාහක රූ රැජින වශයෙන් කිරුළු පැලඳි රෝසි සේනානායකයි.
කොළඹ මහනගර සභාව වැඩිම කාලයක් පාලනය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි.
යුරෝපා ජාතිකයන්ගෙන් කොළඹ මහනගර සභාවේ බලය ශ්‍රී ලාංකිකයන් අතට පත්වුණු මුල් යුගයේ සිට කොළඹ නගර සභාවේ පාලනය ගෙනගියේ එක්සත් ජාතික පක්ෂය විසිනි.

එය වෙනස් වන්නේ 1954 වර්ෂයේදීය. එක්සත් ජාතික පක්ෂයට ඒ සඳහා හිමිව තිබූ කොළඹ නගර සභාවේ පාලන බලයේ වාර්තාව කැඩීමට සමසමාජ පක්ෂය සමත් වෙනවා.
ඒ අනුව 1954 දී කොළඹ පුරපති ධුරයට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පත්වන්නේය.
ඉන් අනතුරුව යළිත් එක්සත් ජාතික පක්ෂය කොළඹ මහනගර සභාවේ පාලනය දිනාගෙන දීර්ඝ කාලයක් පාලනය කරමින් පැවැති අතර, එය යළි ඔවුන්ගෙන් ගිලිහෙන්නේ 2006 වර්ෂයේදීය.

එක්සත් ජාතික පක්ෂයට එවර කොළඹ මහනගර සභාවේ බලය අහිමි වෙන්නේ ඔවුන්ගේම වරදිනි.
2006 වර්ෂයේදී පැවැති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වන්නේය.
නාමයෝජනා පත්‍රය ටිපෙක්ස් කර තිබූ බවටද විවිධ කතා දක්නට ලැබුණු අතර, එක්සත් ජාතික පක්ෂයේ නොසැලකිල්ල නිසා ඔවුන්ට කොළඹ මහනගර සභාවේ බලය අහිමි වන්නේය.

‘කණ්ණාඩිය’ ලකුණින් තරග කරන ලද ස්වාධීන කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂය සහාය දැක්වූ අතර, ඒ අනුව ස්වාධීන කණ්ඩායමකට මුල්වරට කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමිවන්නේය.

කොළඹ පුරපති ධුරයට උවයිස් මොහොමඩ් ඉමිතියාස් පත්වූ අතර, ඔහු ත්‍රිරෝද රථ රියැදුරෙකි.
එක්සත් ජාතික පක්ෂය වසර ගණනාවක් මෙරට පාලනය කළ දේශපාලන පක්ෂයයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, යාන්ත්‍රණය බිහිකිරීම, දේශපාලන නායකයන් ඇතිකිරීම ඇතුළු දේශපාලන යාන්ත්‍රණයට අවශ්‍ය බොහෝ දේ ලැබුණේ කොළඹ මහනගර සභාවෙනි.
කොළඹ මහනගර සභාව පිහිටුවූ සමයේ එහි ජනගහනය 80,000කි. අද එහි පදිංචිකරුවන් සංඛ්‍යාව ලක්ෂ 05කට අධිකය. මීට අමතරව විවිධ සේවාවන් ලබාගැනීම සඳහා දිනපතා කොළඹ නගරයට පැමිණෙන සංඛ්‍යාවද ලක්ෂ 05 ඉක්මවයි.

එවක කොළඹ මහනගර සභාවේ ආදායම වූයේ ස්ටර්ලින් පවුම් 6,429කි. එවක රුපියලේ අගය සැලකූ විට එය රුපියල් ලක්ෂ 03කට ආසන්න වේ. එහෙත් අද වනවිට කොළඹ මහනගර සභාවේ වාර්ෂික අයවැය රුපියල් බිලියන 17කි.
කොළඹ මහනගර සභාව නොහොත් වැඩිම බලයක් සහිත පුංචි ආණ්ඩුවේ බලය ලබාගැනීම කෙතරම් වැදගත්ද කියා මෙම කරුණු දෙස බලන විට වටහා ගැනීමට අපහසු නොවේ.

එම නිසා කොළඹ බලය අල්ලා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මාලිමාව උපරිම උත්සාහයක් දරනු ඇත. ඒ වගේම කොළඹ බලය ලබාගෙන අලුත් දේශපාලන පිම්මක් පැනීමට සජිත්, නාමල් ඇතුළු විපක්ෂයද සිටින්නේ දැඩි සූදානමකිනි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here