
සිසුවියකගේ සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ කොටහේන රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ගණිත ගුරුවරයා මීට දින දෙකකට පෙර අධයාපන අමාථයංශය පාසලින් මාරු කරනු ලැබූ නමුත් අද (9) සන්ධ්‍යා කාලයේ වාර්තාවන්නේ ඔහු අනිවාර්ය නිවාඩු යැවූ බවයි.
සිද්ධිය ගැන පොලිස් වාර්තාවක් ලැබී ඇති බවත්, එම වාර්තාව මත පදනම්ව, ආයතනික පනතට අනුව අදාළ ගුරුවරයා අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවත්, පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.
මෙම සම්පූර්ණ සිදුවීම අතරතුර කිසියම් පාර්ශ්වයක් තම රාජකාරි ඉටු කිරීමට අපොහොසත් වී ඇත්දැයි තීරණය කිරීම සඳහා අමාත්‍යාංශය අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මේ පුද්ගලයා පුත්තලම සහිරා විද්‍යාලයට මාරු කර තිබූ නමුත් ඔහුව එම පාසලට වද්ද නොගන්නා ලෙස ඉල්ලමින් අද (9) උදෑසන උද්ඝෝෂණ සංවිධානය වී තිබුණි.
මේ අතර මේ සම්බන්ධව මීට පෙර ලංකා ගුරු සංගමය හා රාජ්‍ය නොවන සංවිධාන විරෝධතා ක්‍රියාමාර්ග සංවිධානය කර තිබූ අතර අද මෙම සිසුවියගේ මරණයට උපරිම දඬුවම ලබා දෙන ලෙස ශ්‍රී ලංකා දෙමළ ගුරු සංගමයද ඉල්ලා තිබේ.
දෙමළ ගුරු සංගමය නිවේදනයක් මගින් පවසා ඇත්තේ රජය මේ සිද්ධ්ය සුලුකොට තකා සත්‍යය වසන් කර ඇති බවත් අදාළ අපරාධකරුට ස්ථාන මාරුවක් පමණක් ලබා දී ඇති බවත්ය.
අදාළ කාන්තා විද්‍යාලයේ සමහර ගුරුවරියන් වරින්වර මාරු කර ඇතත්, ගුරු සංගමයේ සහයෝගය ඇතිව මෙකී ගුරුවරයා පමණක් වසර ගණනාවක් එහි සේවය කර ඇති බවයි. මේ මිනීමැරුම වසන් කිරීමටත් උත්සාහ කරන්නේත් ඒ අයමයි යනුවෙන් ඔවුන් දන්වා ඇත.
වරදකරු බවට පත් වූ පුද්ගලයා ගුරු සංගමයක ද ඉතා බලගතු අයෙකු බවද පෙන්වා දෙන දෙමළ ගුරු සංගමය ඔහුට මේ දක්වා දඩුවම් නොලැබෙන්නේ ඒ නිසා බවද පවසා ඇත.
වරදකරුට දඬුවම් කරන අතරම, සහචරයින් හෙළි කර දඬුවම් කරන ලෙස ඉල්ලා සිටින බව නිවේදනයේ සඳහන් වේ.
Saru FM Media