කෙහෙළිය ඇතුළු පවුලේ අයට එරෙහි අයථා වත්කම් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය 15දා

0
1

අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් ලක්ෂ 900කට අධික වටිනාකමක් සහිත මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා එක් දියණියකගේ සැමියාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 15 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාර් මහතා ඊයේ (01දා) නියෝග කළේය.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් හයදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර පෙර නඩු දිනයේදී පළමු වන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීම අනුව පැමිණිල්ල විසින් නඩුකරයට පාදකවූ තවත් ලේඛන 12 ක් විත්තියට භාරදෙන ලදී.

එකී ලේඛනවලට අමතරව විත්තියට සාධාරණ නඩු විභාගයකට මුහුණදීමට අවශ්‍ය විත්තිකරුවන්ගේ වත්කම් පිළිබඳව සිය සේවාදායකයා විසින් ලබාදී ඇති ප්‍රකාශවල පිටපත් ද විත්තියට අවශ්‍ය බව විත්තියේ නීතිඥවරු විනිසුරුවරයාට කියා සිටියහ. නඩු විභාගයට අවශ්‍ය සියලු ලේඛන පැමිණිල්ල විසින් විත්තියට ලබාදී ඇති බව එහිදී කියා සිටි අල්ලස් කොමිෂන් සභාව් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය විත්තිය ඉල්ලන සෙසු ලේඛන අතරින් ලබාදිය හැකි ලේඛන සතියක් ඇතුළත භාරදීමට පියවර ගන්නා බව අධිකරණයට කීවාය.

සහකාර අධ්‍යක්ෂ ඉෂාරා ලසන්ති මහත්මිය සමග නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය. නීතිඥ රශ්මින් ඉන්ද්‍රතිස්ස, රසානා සාලි, නිරංජන් ඊරියගොල්ල හා වසිම් අක්‍රම් යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පළමු වන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

කුසුම් ප්‍රියදර්ශනී, අමාලි රඹුක්වැල්ල, නයනිකා රඹුක්වැල්ල, චන්දුලා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති බණ්ඩාර යන විත්තිකරුවන් පස්දෙනා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා පෙනී සිටියේය.
ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here