පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය විසින් ඊයේ (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ අදාළ සැකකරු රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බවය.
තවද ගණේමුල්ල සංජීව ඝාතනයට මෙම සැකකරු සම්බන්ධ දැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය මෙහිදී අධිකරණයට කීවේය.
රඳවාගෙන සිටින මෙම සැකකරු මහෙස්ත්‍රාත්වරයකු විසින් නිරීක්ෂණය කර තිබේ දැයි මහෙස්ත්‍රාත්වරයා එහිදී පොලිසියෙන් විමසීය.
කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරු නිරීක්ෂණයට ලක් කරන ලද බව ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.
ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියම කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක
Saru FM Media