කෘත්‍රිම බුද්ධිය මාධ්‍යවේදිනියන්ට එරෙහි අවියක් බවට පත්වෙලා – ආචාර්ය සංජන හත්තොටුව

0
12

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ප්‍රවෘත්ති කාමරවල කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි වුවද එය මාධ්‍යවේදිනියන් ඉලක්ක කරගනිමින් අසභ්‍ය අන්තර්ගතයන් (Deepfakes) සහ ව්‍යාජ තොරතුරු නිර්මාණය කර ඔවුන් අපහසුතාවට පත් කිරීම සඳහා භාවිතවන අවියක් බවට පත්ව ඇතැයි ආචාර්ය සංජන හත්තොටුව පැවසුවේය.

‘කෘත්‍රිම බුද්ධිය (AI) සහ මාධ්‍යකරණය අතර පවතින සබඳතාව’ නමින් ඔහු විසින් සකස් කරන ලද සුවිශේෂී පර්යේෂණ පත්‍රිකාවක් පෙරේදා (10) කොළඹදී එළිදක්වන ලදි.

හෙතෙම මේ බව කියා සිටියේ එහිදීය.

නවීන තාක්ෂණය මාධ්‍යවේදිනියන්ගේ වෘත්තිය සහ පෞද්ගලික ජීවිතයට එල්ල කරන බලපෑම පිළිබඳව මෙම පර්යේෂණය මගින් ගැඹුරින් විශ්ලේෂණය කර තිබේ.

කෘත්‍රිම බුද්ධිය යනු මෙවලමක් මෙන්ම විටෙක බොහෝ ජීවිත වෙනස් කළ හැකි අවියක් බවත් කෘත්‍රිම බුද්ධියේ බලපෑම මත ස්ත්‍රී/ පුරුෂ සමාජභාවීය ප්‍රචණ්ඩත්වයක් ඇති කරන බවත් ආචාර්ය සංජන හත්තොටුව මෙහිදී පැවසුවේය.

පාලනයකින් තොරව AI භාවිත කිරීමෙන් කාන්තාවන්ට සිදුවන හානිය අවම කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ගේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

මෙහිදී අදහස් දක්වා සිටි දකුණු ආසියානු මාධ්‍ය ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ නියෝජිතවරියන් පෙන්වා දුන්නේ AI තාක්ෂණය මගින් මාධ්‍ය කාර්යාලවල වැඩකටයුතු පහසු කළ හැකි වුවද මාධ්‍යවේදිනියන් මෙම තාක්ෂණය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

තාක්ෂණය වැලඳගත යුතු නමුත් එය මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින කාන්තාවන්ගේ ගෞරවය සහ ආරක්ෂාව අනතුරේ හෙළන අවියක් වීමට ඉඩ නොදිය යුතු බවද ඔවුහු පැවසූහ.

යුනෙස්කෝ (UNESCO), බී.බී.සී. (BBC) සහ නිව්යෝර්ක් ටයිම්ස් (NYT) වැනි ජාත්‍යන්තර ආයතන දැනටමත් අනුගමනය කරන AI ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංස්කෘතියට ගැළපෙන පරිදි සකස් කිරීමට දකුණු ආසියානු මාධ්‍ය ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ සංගමය කටයුතු කරන බවද එහි නියෝජිතවරියෝ සඳහන් කළහ.

එමෙන්ම පුවත්පත් සහ නාලිකාවල ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරුන් සමග එක්ව AI මගින් නිර්මාණය කරන අන්තර්ගතයන් හඳුනාගැනීම සහ මාධ්‍යවේදිනියන්ට එරෙහිව සිදුවන තාක්ෂණික හිරිහැර වැළැක්වීමට විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

මූලාශ්‍රය – අරුණ

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here