කෘත්‍රිම බුද්ධියෙන් සකසන ඡායාරූප රැල්ලෙහි අවදානම පිළිබඳ දැනුවත් ද?

0
2

අද විශ්වය තුළ තාක්ෂණය තත්පරෙන් තත්පරේට වෙනස් වෙමින් පවතී. ඒ අතරින් ඉතා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයක් වන්නේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයයි. මෙමඟින් ඡායාරූප, වීඩියෝ සහ ශබ්ද නිර්මාණය කිරීම දියුණු වීමත් සමග “AI-generated images” නම් වූ නව රැල්ලක් සමාජ මාධ්‍ය තුළ ඉතා ශීඝ්‍රයෙන් සංසරණය වෙමින් පවතී. එහෙත්, මේ නවෝත්පාදන රැල්ල පසුපස අවදානම් පවතින බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

“ස්තූතියි Gemini දිව්‍ය ලෝකයේ ඉන්න මගේ තාත්තා එක්ක පින්තූරයක් මට හදලා දුන්නට.”

මේ, මීට දින කිහිපයකට පෙර සිය මිය ගිය පියාගේ උපන් දිනය දා ඔහුව සිහිපත් කරමින් තරුණියක ෆේස්බුක්හි පළ කර තිබුණු සටහනකි. එයට ඇය Google Gemini භාවිත කර නිර්මාණය කර ගත් සිය පියා සමග සිටින ඡායාරූපයක් ද එකතු කර තිබිණි. දුටු සැණින් එය කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද්දක් දැයි සිතා ගැනීමට නොහැකි ය. එතරම් එය සත්‍ය ඡායාරූපයකට සමාන වූවකි. එවැනි සංවේදී සිදුවීම් පමණක් නොව රෝස මල් අත ගත් පිරිමින්, අලංකාර සාරිවලින් සැරසුණු ගැහැනුන්ගෙන් ඉකුත් සතිය පුරා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය පිරී ඉතිරී ගොස් තිබිණි. කෘත්‍රිම බුද්ධියේ උපකාර ගෙන තම සිතැඟි රුව නිර්මාණය කර නොගත් කෙනකු සොයා ගැනීම සත්‍ය වශයෙන් ම කළ නොහැක්කකි. එම කුලකයේ ඔබත් සිටිනවා විය හැකි ය.

Ghibli උන්මාදය පහව ගොස් කෙටි කලක් ඇතුළත සයිබර් අවකාශය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණු මෙම නව රැල්ලේ අවසානය කුමක් විය හැකි ද? කෘත්‍රිම බුද්ධි වේදිකාවලට ඔබ උඩුගත කරන ඡායාරූපවල අවසන් නවාතැන කුමක් විය හැකි ද? ඔබ මේ ගැන සිතා බැලුවා ද? AI ඡායාරූප සැකසීම සඳහා ලබා දුන් ඔබේ ම ඡායාරූප අනාගතයේදී ඔබට ම හමුවිය හැකි ය. එබැවින් මෙහි අවදානම පිළිබඳ දැනුවත්ව සිටීම වැදගත් ය.

වර්තමානයේ අප විසින් විවිධ අවශ්‍යතා සඳහා භාවිත කරනු ලබන බොහෝ කෘත්‍රිම බුද්ධි වේදිකා අප ඒවා වෙත ලබා දෙන දත්ත ඔවුන්ගේ පද්ධති වැඩිදියුණු කිරීමට භාවිත කරන බව නොරහසකි. ඒවා කෘත්‍රිම බුද්ධි සේවා සපයන්නාගේ ප්‍රතිපත්ති අනුව වෙනස් විය හැකි නමුත් බොහෝ වේදිකා පවසන්නේ, අප විසින් එම වේදිකා වෙත ඇතුළත් කරනු ලබන දත්ත ඇතැම් විට ඒවායේ පුහුණු කටයුතු සඳහා යොදා ගත හැකි බව ය. කෙසේ වෙතත්, පරිශීලකයාට එය පාලනය කිරීමේ අවස්ථාව ලබා දෙන වේදිකා ද තිබේ.

Chat Gpt, Gemini ඇතුළු AI ජාලාවන් මෙතරම් භාවිත කරන්නේ ඇයි?

පළමුව ඔබ විසින් සිතිය යුතු කරුණ නම් ඔබ අප්ලෝඩ් කරන ඡායාරූපය සතු ආරක්‍ෂාව කුමක්ද යන්නයි. පරිශීලකයින් විසින් තම අවශ්‍යතා වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි වේදිකාවලට උඩුගත කරන ඡායාරූප බොහෝ විට පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ගත් කල සංවේදී ඒවා බව පහැදිලිය. එවැනි සංවේදී ඡායාරූප ඇල්ගොරිදම් එකක ට්‍රේනින් ඩේටා සඳහා ලබාදීම වගකීම් විරහිත බව අප අනිවාර්යයෙන් දැනගත යුතුය. උදාහරණයක් ලෙස chat gpt හි නියමයන් සහ කොන්දේසිවල පින්තූරයක් උඩුගත කළ විට එය ට්‍රේනින් ඩේටාවලට පාවිච්චි කිරීමට හැකියාව පවතින බව පැහැදිලිව සඳහන් කරනු ලබයි.

බොහෝ පිරිස් ඔන්ලයින් වේදිකාවලට උඩුගත නොකළ යුතු ආකාරයේ ඡායාරූප පවා කෘත්‍රිම බුද්ධි වේදිකාවලට උඩුගත කරන බව ද අනාවරණය වන කරුණකි. එය ද අවදානම්සහගත තත්ත්වයක් නිර්මාණය කරනු ලබයි. නමුත් මෙය බොහෝ අවස්ථාවලදී වෙනත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන බවට ද හඳුනා ගත හැකිය. එනම් ඔරිජිනල් ඡායාරූප වෙනත් පුද්ගලයින් විසින් රැගෙන AI හරහා නිරුවත් ඡායාරූප ලෙස හෝ වීඩියෝ දර්ශන ආකාරයට සංස්කරණය කර සමාජ මාධ්‍යයේ සංසරණය කිරීමයි. ඒ සඳහා බොහෝ විට පරිශීලකයින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල උඩුගත කර ඇති ඡායාරූප භාවිත කරනු ලබයි. අසභ්‍ය චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා දැනටත් කෘත්‍රිම බුද්ධිය බහුලව යොදා ගනී. කෙසේ වුවද ඡායාරූප උඩුගත කිරීම වක්‍රාකාරව අහිතකර පාර්ශ්ව අතට තම ඡායාරූප පත් වීමට ඇති අවදානම ඉහළ දමන්නකි.

රොබෝ තාක්ෂණය වැනි විෂයයන්වල දියුණුව හමුවේ, කෘත්‍රිම බුද්ධිය යොදාගෙන අනාගතයේදී සිදු විය හැකි අකටයුතුකම් පිළිබඳ මිනිසා අවධානය යොමු කළ යුතුය. කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ඡායාරූප සහ වීඩියෝවල ඇති යථාර්ථවාදී බව හේතුවෙන් ව්‍යාජ පුවත්වල පවා පරිශීලකයින් ගොදුරක් වීමේ අනතුරුදායක තත්ත්වය මෙමගින් ඇති කරනු ලබයි. ඔබගේ දත්ත වෙනත් පාර්ශ්වයක් අතට පත් වුවහොත් ඩාක් වෙබ්අඩවිවල (Dark Web) පවා අලෙවි විය හැකිය. එවිට තම අනන්‍යතාවය සොරකමට ලක්විය හැකිය. එවැනි අවස්ථාවලදී ඔබේ රුවට සමාන රුව ඇති ගුවන් ගමන් බලපත්‍ර මෙන් ම හැඳුනුම්පත් පවා වංචනික ලෙස නිර්මාණය කිරීමට ඉඩ සැලසෙනු ඇත. ඡායාරූපයක අන්තර්ගත වන්නේ ඔබට ඇසින් නිරීක්ෂණය කළ හැකි තොරතුරු පමණක් නොවේ. එනම් ඒවායේ, ඡායාරූපය ලබා ගත් උපකරණය, දිනය, එහි ප්‍රමාණය, ස්ථානය ආදී තොරතුරු ඇතුළත් වේ. එබැවින් ඡායාරූප කෘත්‍රිම බුද්ධිය වැනි වේදිකාවලට උඩුගත කිරීම සයිබර් ආරක්ෂක අවදානමක් මතු කරන බව කිව යුතුය. එවැනි අවස්ථා පුද්ගලයින්ගේ පෞද්ගලික ආරක්ෂාව පවා අවදානමට ලක් කරන්නකි. කිසිවිටෙක කෘත්‍රිම බුද්ධිය පරිශීලකයින්ගෙන් ලබා ගන්නා දත්ත ගබඩා කර ගන්නා ආකාරය හෙළි නොකරයි. වර්තමාන සමාජය ඩිජිටල් ලෝකය සමග වැඩි වශයෙන් ගනුදෙනු කරන බැවින් AI භාවිතා කරන්නේ නම් එහි ප්‍රතිවිපාකත් බලාපොරොත්තු විය යුතුය.

නොමිලේ ලබා දෙන මෙවලම් භාවිතයේදී අනතුරු වීමේ සම්භාවිතාව වැඩිය. මක් නිසාද යත් දත්ත කොහෙද ගබඩා කර ගන්නේ, කොයි විදිහට ද ගබඩා කර ගන්නේ, ඒවා මොන විදිහට ප්‍රොසෙස් කරන්නේ ද යන්න පරිශීලකයින් නොදන්නා නිසාවෙනි. නමුත් මුදල් අය කර කෘත්‍රිම බුද්ධි සේවා සපයන ඇතැම් වේදිකා මගින් පරිශීලක දත්ත අවභාවිත නොකරන අවස්ථා වැඩිය. කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කරන ඡායාරූප බොහෝවිට විශ්වාසවන්ත ලෙස පෙනෙන බැවින් සාමාන්‍ය ජනතාවට ඒවා සත්‍ය ද අසත්‍ය ද යන්න හඳුනාගැනීම අසීරු වේ. මෙය දේශපාලන, සමාජීය සහ ආර්ථික ක්ෂේත්‍රවල ද විශාල බලපෑමක් ඇති කරයි. කෘත්‍රිම බුද්ධිය මිනිසාට උපකාරී වන්නා සේම එය අවභාවිත වූ විට විශාල හානියක් ඇති කරයි. AI රැල්ලේ වාසිය මෙන්ම අවාසිය තීරණය වනුයේ පරිශීලකයින්ගේ බුද්ධිමත් හැසිරීම මතය. එබැවින් ඒ පිළිබඳ දැනුවත් වීම ඔබ සතුය.

● ශෂිනි කෞශල්‍යා,

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here