කූල් ඩ්‍රින්ක්ස් නැතුවම බැරි අයට පණිවුඩයක්

0
11


කූල් එකේ ඉන්න කූල් ඩ්‍රින්ක්ස් බොන්න ම ඕනෙ කියල හිතාගෙන ශීතකල බීම පානයට ඇබ්බැහි වී සිටින අය ඔබ අතරෙත් ඉන්නවා ද? නිවසේ හදාගන්නා පලතුරු යුෂ හෝ විධිමත් ව රස ගුණ නොනැසෙන ලෙස, අහිතකර රසායන භාවිතයෙන් තොරව සකස් කර වෙළඳ පොළේ පවතින ශීතකළ පළතුරු බීම වීදුරුවක් පානය කළ හැකිනම් එය කිසිසේත් හානිකර වන්නේ නැහැ.

කෙසේ වෙතත් ශීතකරන ලද කවර පානයක් වුවත් අධික සෙම් රෝගී තත්වයක පසුවන අයෙකුට එතරම් සුදුසු වන්නේ නැහැ. විශේෂයෙන් ම වෙළඳපොලේ පවතින කල්පවත්නා රසායනික එක් කරන ලද අධික සීනි සාන්ද්‍රණයෙන් සහ කෘතිම වර්ණක භාවිතයෙන් යුත් බීම වර්ග කුඩාදරුවන්ට, වයස්ගත පුද්ගලයන්ට, ගැබිනිමවුවරුන්ට, රෝගීන්ට පමණක් නොවෙයි නිරෝගී සෞඛ්‍යසම්පන්න ජීවිතයක් අපේක්ෂා කරන කිසිවෙකුටත් සුදුසු යැයි අනුමත කරනන්ට බැහැ.

අධික පිපාසයට, තෙහෙට්ටුවට, අවිවේකී හෝ අලස බව ශරීරයට දැනෙන අවස්ථාවලට කෝලා වර්ගයේ බීම පානයට සමහරුන් අතිශය කැමැත්තක් දක්වනවා. විවිධ වෙළඳ නාමවලින් විවිධ කෘතිම වර්ණක සහිතව වෙළඳ පොළේ ඇති නොයෙකුත් බෝතල් බීම ඔබේ අවධානයටත් අනේක වාරයක් ලක්වන්නට ඇති. එම බීම වර්ග සම්බන්ධයෙන් වෙළඳසැල්වල පවත්නා විශාල ප්‍රදර්ශන පුවරු, රූපවාහිනී වෙළඳ දැන්වීම් ඔබ ඇස ගැටුණු වාර කොතෙකුත් පැවති බව මතක ඇති.

කුඩා වෙළඳ සැල්වල සිට සුපිරි වෙළඳසැල් දක්වා ඕනෑම අලෙවිසලක එවැනි බෝතල් කළ බීම වර්ග මිළ දී ගැනීමට ඇති පහසුවත්, ඒ වෙනුවට ආදේශක හෝ වෙනත් විකල්ප පාන වර්ග වෙළඳ සැල්වල නොමැතිවීමත් නිසා සමහරවිට පිපාසය නිවාගන්නට අවැසි වූ විට මෙවැනි බීම වර්ග අකමැති හෝ ප්‍රතික්ෂේප කරන අයෙකුට වුවත් එයින් වැළකී සිටීමට හැකියාවක් නැතිවන්නටත් පුළුවනි.

ඒ කොහොම වුණත් ශීත කළ බෝතල් බීම පානය කරන ඔබේ මිතුරන් හෝ නෑ හිතවතුන් නිවැරදිව දැනුවත් කරන්නට මේ තොරතුරු ඔබට නිසැකව ම වැදගත් වේවි. කූල් ඩ්‍රින්ක්ස් වර්ග නිසා ශරීරයේ එක් එක් ඉන්ද්‍රිය පද්ධතීන්ට සිදුවන හානි ගැන නිවැරදිව දැනගැනීම  ඔබට ඔබ විසින්ම පාලනය වන්නටත්, ඉතා ප්‍රයෝජනවත් වේවි.

මිලි 335ක කෝලා බීම ටින් එකක සීනි තේ හැඳි 7ක් අන්තර්ගත බව පර්යේෂකයින් සඳහන්කරනවා. දිනකට නිරෝගී කාන්තාවකට සීනි තේ හැඳි 6ක් සහ නිරෝගී පුරුෂයෙකුට සීනි තේ හැඳි 9ක් අතිශයින් ම ප්‍රමාණවත් වන බවත්  වෛද්‍ය පර්යේෂණ මඟින් තහවුරු කර තිබෙනවා. කෝලාබීමවර්ග භාවිත කිරීම නිසා රුධිර සීනි මට්ටම ඉහළ යාහැකි තරම දැන් ඔබට ම අවබෝධ වේවි.

පෙනහලුවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමේ හැකියාව කෝලා බීමවල පවතිනවා. වැඩි පුර සිසිල් බීම පානය කිරීම ඇදුම රෝගය සෑදීමේ අවදානමට පවා ලක්වන්නට හේතුවිය හැකියි.

කෝලාවල බහුලව ඇති phosphoric acid නිසා වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම ඉතා වැඩියි.

කෝලා බීම වර්ග භාවිත කරන්නෙකුට ඒ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය එක්වර වැඩි වීම හේතුවෙන් මොලයෙන් නිපදවන රසායන (chemical)  නිෂ්පාදනය අඩු වී මතක තබා ගැනීමේ දුර්වලතා ඇතිවීමට ඉඩ තිබෙනවා.

සිසිල් බීමවල ඇති carbonation වැඩි වීම නිසා බඩ තුළ ගෑස් නිපදවීම වැඩි වී. බඩේ අමාරු ගැස්ට්‍රයිටීස් වැනි රෝගවලට ගොදුරු වීමේ අවදානමකට ද ලක්විය හැකියි.

ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝගවලට ගොදුරු වීම කෝලා බීමට ඇබ්බැහිවූවන් අතර ඉතා ඉහළ අගයක් ගන්නා බව වාර්තා වෙනවා.

කෝලා බීම වර්ගවල ඇති ඉහළ සීනි ප්‍රතිශතය හා එහි ඇතුළත් අනෙකුත් ඇසිඩ් වර්ග නිසා හදවත් රෝග ඇතිවීමේ අවදානම ද ඉතාමත් වැඩියි.

ශීත කළ කෝලා බීමවර්ගවල ඇසිඩ් ගතිය අධික නිසා දත් දිරා යාම ඉක්මන් වන අතර, දත් අවපැහැ ගැනීම ද කාලයක් තිස්සේ කෝලාබීම වර්ගවලට ඇබ්බැහිවූවන්ට මුහුණ දෙන්නට සිදුවන තත්වයක්.

– නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here