ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය සහ එක්සත් අරාබි තුන්කොන් විස්සයි – 20 තරගාවලිය
දඟ පන්දුවට පාරාදීසයක් බඳු වූ සාජා පිටියේදී පැවැති ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය සහ එක්සත් අරාබි කණ්ඩායම් අතර පැවැති තුන්කොන් තරගාවලියේ අවසාන මහා තරගය වූ ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ලකුණු 75ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
පෙරේදා (07 දා) පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 141ක් ලබාගැනීමට සමත්වූ අතර, ලකුණු 142ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට මොහොමඩ් නවාස් ඇතුළු පාකිස්තාන දඟ පන්දු බළඇණිය ඉදිරියේ ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 15යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 66ක් වීම හේතුවෙන් ලකුණු 75ක පහසු ජයක් පාකිස්තානයට හිමිවිය.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ෆකර් සමාන් ලකුණු 27ක්, මොහොමඩ් නවාස් ලකුණු 25ක්, සල්මාන් අගා ලකුණු 24ක් සහ සයීම් ආයුබ් ලකුණු 17ක් ලැබීය.
පන්දු යැවීමේදී රශීඩ් ඛාන් ලකුණු 38කට කඩුලු 3ක්, ෆසාල්හ් ෆරූකී සහ නූර් අහමඩ් අතරේ කඩුලු 2බැගින් බෙදී ගියේය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී රශීඩ් ඛාන් ලකුණු 17ක් සහ සිදිවුල්හ් අතල් ලකුණු 13ක් ලැබීය.
පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් ලකුණු 19කට කඩුලු 5ක්, අබ්රාර් අහමඩ් සහ සුෆියන් මුකීම් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.
තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයාට හිමි සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබීමට මොහොමඩ් නවාස් සමත්විය.
සිසිර ඉන්ද්‍රජිත්
Saru FM Media