කිරිපිටි තිරිඟු පිටි මිල නංවන්නේ නෑ – ආනයනකරුවෝ පවසති – Saru News | සිංහල

0
2

ඉන්ධන මිල ඉහළ යාමෙන් ගැටලුකාරි තත්වයන් මතු වුවද ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල මේ මොහොතේ ඉහළ නොදමන බවට කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි සමාගම් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ සමඟ පැවැති එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ඊයේ (23) සහතික වී තිබේ.

ඒ අනුව, තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි තොග පවතින බැවින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු ආකාරයක මිල වැඩි කිරිමක් සිදු නොකරන බවටද ආනයනකරුවෝ සහ සමාගම් නියෝජිතවරු මෙහි දී ඇමැති හමුවේ සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ, පවතින යුදමය තත්වය හේතුවෙන් සැපයුම් හා බෙදාහැරීමේ ජාලයන්ට එල්ල වී ඇති බලපෑම් හා අඛණ්ඩ සැපයුමක් පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය තම නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් එල්ල කළ ද මෙම අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව ජනතාවට යම් සහනයක් ලබාදීම අපේක්ෂාව බව ඔවුහු පවසා තිබේ.

ඉන්ධන කෝටාව නිසා බෙදා හැරීම්වලට බලපෑම් එල්ල වී ඇති බව ආනයනික කිරි පිටි හා තිරිඟු පිටි සමාගම් මෙහිදී ඇමති වසන්ත සමරසිංහට පෙන්වා දී ඇත. ආහාර බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කර ගනිමින් හඳුන්වා දුන් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනට ලියාපදිංචි වන ලෙස සමාගම් වෙත උපදෙස් දී තිබේ

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා, අතිරේක ලේකම් ගිල්මා දහනායක, වෙළෙඳ හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ කුමුදු මීගහගේ මෙන්ම පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන්, ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව ඇතුළු නිලධාරි පිරිසක් සහභාගි වී සිට ඇත.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here