කිරින්දේ කුඩු ඔත්තුව දුන් අය මරා හිස ඕලුගලගේ නිවසට අරින්න කොන්ත්‍රාත්තුවක් 

0
3

කිරින්ද මුහුදු වෙරළේදී රුපියල් කෝටි 350ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදුන් ඔත්තුකරු පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ හිස කඳෙන් වෙන්කර හිස කොටස මෙම විමර්ශනය සිදුකළ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමේ කොන්ත්‍රාත්තුව භාරගත් පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන දින 11ක් පෑලියගොඩ අපරාධ කොට්ඨාස රැඳවුම් භාරයේ සිටිය ද මේ වනතුරුත් ඔහු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර නැති බව “දිවයින” පුවත්පත වාර්තා කර ඇත.

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා අසනීපවී රෝහල්ගතව සිටි කාලසීමාවේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඔත්තුකරු මරාදමා ඔහුගේ හිස කොටස ඒ මහතාගේ නිවසට යවන ලෙස උපදෙස් ලබාදුන් බවද අත්අඩංගුවේ සිටින පාතාල සාමාජිකයා පාපොච්චාරණය කර ඇත.

අංගොඩ ප්‍රදේශය සිය පාතාල රාජධානිය කරගෙන සිටින දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල නායකයකු විසින් මෙම කොන්ත්‍රාත්තුව තමන්ට භාරදුන් බවද එම සැකකරු ප්‍රකාශ කර ඇති බව පැවසේ. 

කිරින්ද මුහුදු වෙරළේදී මීට මාස කීපයකට උඩදී පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම පාතාල නායකයාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම පාතාල නායකයා මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර කිරින්දේදී තමන්ට අයත් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැඩි වෛරයකින් පසුවී ඇත.

මේ හේතුව නිසා තමන්ට අයත් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා රොහාන් ඕලුගල මහතාට ඔත්තුව ලබාදුන්නේ කව්රුන් විසින් ද යන්න සොයාගෙන ඇත.

ඒ අනුව යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයකු එම ඔත්තුකරුගේ නිවසට යවා ඔහු පිළිබඳව සියලු තොරතුරු ලබාගැනීමට පාතාල නායකයා කටයුතු කර තිබේ. 

පාතාල කල්ලිය විසින් තමන් පිළිබඳව තොරතුරු සොයන බව දැනගත් ඔත්තුකරු තම නිවස අතහැර ගොස් ඇතැයි ද පැවසේ.

ඔත්තුකරු පිළිබඳ සියලු තොරතුරු සොයා ගැනීමෙන් පසු ඔහු ඝාතනය කර ඔහුගේ හිස ඕලුගල මහතාගේ නිවසට යැවීමේ කොන්ත්‍රාත්තුව සංවිධානාත්මක කල්ලියකට භාරදීමට ඩුබායිහි සිටින පාතාල නායකයා කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට අත්අඩංගුවේ සිටින පාතාල සාමාජිකයා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති බවද පැවසේ.

පාතාල නායකයා විසින් මෙම කණ්ඩායමට උපදෙස් ලබාදී ඇත්තේ පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගෙන පොලිස් ජීප් රථයකට සමාන රථයකින් ගොස් මෙම ඔත්තුකරු පැහැර ගැනීමට කටයුතු කරන ලෙසයි. 

පසුව ඔහුට වෙඩි තබා ඝාතනය කර පොලිස් නිලධාරීන් මෙන්ම ඔත්තුකරුවන් ද භීතියට පත් කිරීම සඳහා ඔහුගේ හිස කඳෙන් වෙන්කර එය ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තබන ලෙස උපදෙස් ලබාදී ඇත.

මෙම පාතාල සාමාජිකයා පිළිබඳව ලැබුණු ඔත්තුවක් මත බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන් යුත් කණ්ඩායමක් විසින් රත්නපුරයේ සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස කීපයකට උඩදී කිරින්ද මුහුදු වෙරළේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක් අත්අඩංගුවට ගැනීමට රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කටයුතු කර තිබිණි. 

එම මත්ද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි වාහන 06ක් සමග සැකකරුවෝ 07 දෙනෙක් ද එහිදී පොලිසියට කොටු වූහ.

එම මත්ද්‍රව්‍ය තොගය කිරින්ද මුහුදු වෙරළට රැගෙන ආ බෝට්ටු 2ක් ද පසුව අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත්තේ එම මත්ද්‍රව්‍ය පාර්සල් කර ඒවා මහ මුහුදේ පාකර ගොඩබිමට ගෙන ඒමට කටයුතු කරමින් සිටියදීය.

මත්ද්‍රව්‍ය තොග රැගත් පාර්සල් තොගය රැගෙන මුහුදේ පිහිනා පැමිණි පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට පත් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here