කියුබාවේ සහයට වියට්නාමය ඉදිරිපත් වේ ! – Saru News | සිංහල

0
2

2026 පෙබරවාරි12 වන දින හැනෝයි හිදී, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) දේශපාලන මණ්ඩල සභික සහ විදේශ කටයුතු අමාත්‍ය Lê Hoài Trungලී හා කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ (CPC) දේශපාලන මණ්ඩල සභික සහ කියුබානු විදේශ කටයුතු අමාත්‍ය Bruno Rodriguez හමු වී කියුබාව මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුධය පිළිබඳව සාකච්චා කර ඇති බව වාර්තා වේ. ඒ හා සමානව වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් Tô Lâm හා කියුබානු ජනාධිපති Miguel Diaz-Canel අතරද හදිසි සාකච්චාවක් සිදු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

වියට්නාම කොමියුනිස්ට් පක්ෂය හා කියුබානු ජනාධිපති අතර පැවැති දුර කථන සාකච්චාවේදී කියුබාව සමඟ පවත්වාගෙන යනු ලබන විශේෂ සහ ආදර්ශමත් මිත්‍ර සබඳතාවලට වියට්නාමය විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, දෙරටේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සහ සෑම කලාපයකම සහ ලොව පුරා සාමය, සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා සාම්ප්‍රදායික සහයෝගීතාවය අඛණ්ඩව ශක්තිමත් කිරීමට, ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ඵලදායීතාවය පුළුල් කිරීමට සහ වැඩි දියුණු කිරීමට හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බවත් වියට්නාම පක්ෂයේ මහලේකම් ටෝ ලාම් තහවුරු කළේය. නූතනත්වය සහ සමාජවාදය ගොඩනැගීම පිළිබඳ සිය අත්දැකීම් කියුබාව සමඟ බෙදා ගැනීමට වියට්නාමය තවදුරටත් සූදානම් බවද ඔහු සඳහන් කර තිබිණි.

එයට පිළිතුරු ලෙස කියුබානු කොමියුනිස්ට් පක්ෂය, රජය සහ ජනතාව වියට්නාමය සමඟ සබඳතාවලට නිරපේක්ෂ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත්, ද්විපාර්ශ්වික සබඳතාවල ජයග්‍රහණ මෙන්ම නායක ෆිදෙල් කැස්ත්‍රෝ සහ ජනාධිපති හෝ චි මිං විසින් නියම කරන ලද සහයෝගීතාවය සහ සමීප සබඳතා මත පදනම්ව, දෙරට අතර පුළුල් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ගැඹුරු කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත් කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනල් අවධාරණය කර සිටියේය.

විදේශ ඇමතිවරුන්ගේ හමුවේදී කලාපීය හා ජාත්‍යන්තර ගැටළු සමීපව සම්බන්ධ කරමින් වියට්නාමය සහ කියුබාව අතර සාම්ප්‍රදායික සහයෝගීතාවය, විශේෂ මිත්‍රත්වය සහ පුළුල් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා උපදෙස් සහ පියවර පිළිබඳවත්, ආර්ථික සංවර්ධනය සහ ජාත්‍යන්තර ඒකාබද්ධතාවයේ අත්දැකීම් මත පදනම්ව පක්ෂ ගොඩනැගීම, පුහුණුව සහ උපායමාර්ගික සැලසුම්කරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික හුවමාරු තීව්‍ර කිරීමටත් එකඟ වී ඇත. ඉදිරි කාලය සඳහා දෙපාර්ශවය සහ රාජ්‍යයන් දෙක අතර සහයෝගීතා හා සමීප රාජතාන්ත්‍රික සැලැස්මක් සංවර්ධනය කිරීම පිළිබඳවත් ඔවුහු තවදුරටත් එකඟ වූහ.

එසේම 2026 පෙබරවාරි 13 වන දින, හවානා හි පිහිටුවා තිබෙන කෘෂිකාර්මික සමාගමක් වන  Cítricos Caribe S.A මූලස්ථානයේදී, වියට්නාම රජයේ නියෝජිතයින් සහ එරට සහල් සමාගමක් වන AgriVMA  විසින් නොමිලේ පිදෙන ආධාරයක් ලෙස සහල් ටොන් 250 ක් කියුබාවට භාර දෙන ලදී. වියට්නාම කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය සහ කියුබානු කෘෂිකර්ම අමාත්‍යාංශය අතර ගිවිසුමකට අනුව මෙම ප්‍රදානය ලබා දෙන අතර කියුබාව විසින් මුහුණ දී සිටින දැවැන්ත ආහාර අර්බුධය හමුවේ සහල් වගාව ප්‍රචලිත කිරීමත්, වෙනත් කෘෂිකාර්මික නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා නව ගිවිසුමකට එළඹීමත් මෙහි දී සිදු වී ඇති බව වියට්නාම රජයේ මාධ්‍ය වාර්තා කර සිටි.

මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා පැවැති උත්සවය අතරතුර, කියුබානු කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ටෙල්ස් අබ්දෙල් ගොන්සාලෙස් ප්‍රකාශ කළේ, කියුබාවේ පිනාර් ඩෙල් රියෝ පළාතේ ලොස් පැලසියෝස් මහ නගර සභාවේ සමග ක්‍රියාත්මක වන වියට්නාම සමාගමක් වන AgriVMA විසින් දියත් කර ඇති සහල් නිෂ්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියළු යටිතල පහසුකම් කියුබාව විසින් නිර්මාණය කරන බවත්, මෙම ආකෘතිය පසුව රටේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමේ අරමුණක් රජය සතුව පවතින බව කියා සිටියේය. වියට්නාම කෘෂිකාර්මික සමාගම් සහල් ගොවිතැනේ පමණක් නොව අනෙකුත් කෘෂිකාර්මික අංශවල ද කියුබාව තුල ඔවුන්ගේ ආයෝජන දිගටම පුළුල් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පවසා සිටියේය.

ඔහුට අනුව, කෘෂිකාර්මික සහයෝගීතාවය දෙරට අතර විශිෂ්ට දේශපාලන සබඳතා සඳහාත්, ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවය ඉහළ නැංවීමට ද උපකාරී වේ. කියුබාවේ වියට්නාම තානාපති ලී ක්වාන්ග් ලෝන්ග්, මෙම උත්සවයේ වැදගත්කම අවධාරණය කළ අතර, කියුබාව මුහුණ දෙන අසීරු අභියෝග නොතකා, කියුබාවේ ආයෝජනය සඳහා වියට්නාම සමාගම්වල විශ්වාසය පල වීම සුබ වාදීව දකින බව පවසා සිටියේය. කියුබාවේ වියට්නාම නිෂ්පාදන ක්‍රියාකාරකම් අඛණ්ඩව පැවතීම සහ ව්‍යාප්ත වීම දෙරට අතර විශේෂ සහයෝගීතාවය, සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ පුළුල් සහයෝගීතාවය පෙන්නුම් කරන බව තවදුරටත් ප්‍රකාශ කළේය.

මෑතකදී වියට්නාම ව්‍යාපාර සඳහා ඉඩ සැලසීම ලබා දීම සම්බන්ධයෙන් තානාපතිවරයා කියුබානු කෘෂිකර්ම අමාත්‍යාංශයට ස්තූති කළ අතර, කෘෂිකාර්මික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ කියුබාවේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා සහයෝගය ලබා දීම වියට්නාම නායකයින්ගේ අඛණ්ඩ අවධානයට ලක්වන බව ද පැවසීය.

ද්විපාර්ශ්වික ගිවිසුම යටතේ 2026 දී වියට්නාමය විසින් කියුබාවට යවන ලද පළමු නැව්ගත කිරීම තුල සහල් ටොන් 250ක්  භාරදීමේ ලේඛනයට දෙපාර්ශවයේම නියෝජිතයින් ඉන්පසුව අත්සන් තැබීය. මෙම පළමු කාණ්ඩය CT16 දෙමුහුන් ප්‍රභේදයෙන් පැමිණේ, එය හෙක්ටයාරයකට නැවුම් වී ටොන් හතකට වඩා ලබා දෙන අතර දැනට AgriVMA විසින් පිනාර් ඩෙල් රියෝ පළාතේ ලොස් පැලසියෝස් මහ නගර සභාවේ හෙක්ටයාර 1,000 පුරා මෙම වී ප්‍රභේදය වගා කිරීම සිදු වේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වියට්නාම අත්දැකීම් වලින් ආභාෂය ලැබූ උසස් තත්ත්වයේ වියට්නාම සහල් වර්ග (CT16), වගා ක්‍රම සහ සහල් කළමනාකරණ ශිල්පීය ක්‍රම ක්‍රියාත්මක කිරීම, ඵලදායිතාව ක්‍රමයෙන් වැඩි කිරීම, ධාන්‍ය ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ අනාගත කියුබාව ආනයන මත යැපීම අඩු කිරීම වේ.

පෙබරවාරි 3 සිට 9 දක්වා වියට්නාම අධ්‍යාපන ප්‍රකාශන ආයතනයේ නියෝජිත පිරිසක් කියුබාවට ගොස් 2025 අප්‍රේල් මාසයේදී දෙපාර්ශ්වය අතර අත්සන් කරන ලද සහයෝගීතා ගිවිසුමට අනුව කියුබානු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ වෘත්තීය සහයෝගීතාව ශක්තිමත් කිරීම ද ආරම්හ කර ඇති බව වාර්තා වේ. කියුබාවේ උසස් අධ්‍යාපන උප අමාත්‍ය රෙනාල්ඩෝ වෙලේකේස් සැල්ඩිවර් සමඟ පැවති හමුවකදී, අනාගතයේදී පොත් මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම සඳහා කියුබාවට සහයෝගය සම්බන්ධීකරණය කිරීම මෙන්ම ප්‍රකාශන ක්ෂේත්‍රයේ තොරතුරු හුවමාරුව සහ අත්දැකීම් බෙදා ගැනීම ශක්තිමත් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ.

එසේම වියට්නාම රතු කුරුස සංවිධානය විසින් දියත් කරන ලද “වියට්නාම-කියුබා මිත්‍රත්වයේ වසර 65” යන මැයෙන් කියුබානු ජනතාව සඳහා වූ ජාතික අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයට මිලියන දෙකකට ආසන්න වියට්නාම ජාතිකයින් සහභාගී විය. කියුබාව සඳහා වියට්නාම් රතු කුරුස සංගමය විසින් දියත් කරන ලද ප්‍රධාන සමූහ අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයේ පළමු සතිය තුළ, වියට්නාම පරිත්‍යාගශීලීන් මිලියන 1.7 කට වැඩි පිරිසක් කියුබානු ජනතාවට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් රැස් කළහ. සැප්තැම්බර් 1 වන දින, වියට්නාමය කියුබානු ජනතාවට පළමු ආධාර වාරිකය ලබා දුන් අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 14.6 කි.

දින 65 ක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මෙම ව්‍යාපාරය පැය 30 කින් එහි ඉලක්කය ඉක්මවා ගියේය. නීති විරෝධී ඇමරිකානු සම්බාධක හේතුවෙන් පීඩා විඳින කියුබානු ජනතාවට, මෙම වැදගත් ආධාරය සාදරයෙන් පිළිගත හැකි බව සංවිධායකයෝ මාධ්‍ය වෙත පවසා සිටියහ. 2024 මාර්තු සහ 2025 පෙබරවාරි අතර කාලය තුළ, සම්බාධක පැනවීමෙන් කියුබානු ආර්ථිකයට ඩොලර් බිලියන 7.5 ක පාඩුවක් සිදු වූ අතර එය පෙර වසරට වඩා 50% වැඩි බලපෑමකි.

1973 සැප්තැම්බර් මාසයේදී, ෆිදෙල් කැස්ත්‍රෝ පළමු වරට වියට්නාමයට ගොඩ බසින්නේ රටම යුද්ධයෙන් වෙලා ගෙන සිටින අවස්ථාවකය. යුධ ගිනි මැද වියට්නාමයට ඓතිහාසික සංචාරයක නිරත වූ ෆිදෙල් කැස්ත්‍රෝ, මෑතකදී නිදහස් කර ගන්නා ලද දකුණු වියට්නාමයේ Quảng Trị ප්‍රදේශයට ගිය එකම විදේශීය රාජ්‍ය නායකයා බවට පත්විය. එහිදී, 1973 සැප්තැම්බර් 16 වන දින, වොෂින්ටනය විසින් දියත් කරන ලද යුද්ධයේ භීෂණය ඔහු සියැසින් දුටුවේය. එහි දී තරුණ වියට්නාම ජාතිකයින් පිරිසක් බෙන් හායි ගං ඉවුරේ බෝම්බ ආවාට පුරවමින් සිටියදී, පුපුරා නොගිය බෝම්බයක් පුපුරා ගොස් ඔවුන්ට බරපතල තුවාල සිදු විය. කැස්ත්‍රෝ ඇතුළු දූත පිරිස, එම තරුණයින් වහා රෝහලට ප්‍රවාහනය කිරීම සඳහා තම රථ පෙළෙන් වාහනයක් ලබා දී අවසානයේ ඔවුන්ගේ ජීවිත ද බේරා ගැනීමට මැදිහත් විණි.

“වියට්නාමය වෙනුවෙන්, කියුබානු රුධිරය වැය කිරීමට සූදානම්.” යයි පසුව ෆිදෙල් කැස්ත්‍රෝ වියට්නාම් විමුක්ති භටයින් හා ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම පසුව විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ සංකේතයක් බවට පත්විණි. වියට්නාමය තුල සිදු කල කැස්ත්‍රෝගේ සංචාරය තවමත් ජාත්‍යන්තර සහයෝගීතාවයේ සුවිශේෂී ක්‍රියාවක් හා සංකේතයක් ලෙස වියට්නාම පාසැල් වල උගන්වනු ලැබේ. එසේම එය විප්ලවවාදී ව්‍යාපාරවල පක්ෂපාතී සගයෙකු ලෙස කියුබාවේ ප්‍රතිරූපය තවත් ජාත්‍යන්තරය තුල ශක්තිමත් කළේය.තවද කියුබාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ප්‍රධාන එයතිහාසික සම්මුතියක් ලෙස අදටත් පවතී.

1975 අප්‍රේල් 30 උතුරු වියට්නාම විමුක්ති ව්‍යාපාරය ජයග්‍රහණය කල අතර දකුණු වියට්නාමයේ ඇමරිකානු හමුදා පලවා හරිමින් සයිගොන් නගරයේ ඇද වැටීමත් සමගින් වියට්නාම-ඇමරිකානු යුද්ධයේ අවසානය සනිටුහන් කළේය.1976 දී රට වියට්නාම සමාජවාදී ජනරජය ලෙස නැවත එක්සත් කරන ලදී. කියුබාව-වියට්නාම සබඳතා තවදුරටත් ශක්තිමත් කරන ලදී.  ඒ අනුව ආර්ථික සහයෝගීතාව (ඉදිකිරීම්, සෞඛ්‍ය, යටිතල පහසුකම්)වියට්නාමයට කියුබානු තාක්ෂණික සහාය ලබා දීමට කැස්ත්‍රෝ පියවර ගනු ලැබූ අතර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අදටත් ශක්තිමත්ව පවතී.

ඒ අනුව කියුබානු ජනතාව ගේ සහය සඳහා ඍජුවම වියට්නාමය ඉදිරිපත් වී ඇත. අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහි ඔවුන්ගේ අරගලයන් තුල කියුබාව සහ වියට්නාමය පොදු, නමුත් වෙනස් ඉතිහාසයක් බෙදා ගනී. ජාතීන් දෙකම ලෝක ඉතිහාසයේ බලවත්ම රාජ්‍යයේ අසීමිත බලයට මුහුණ දී ඇති අතර, එහි වඩාත්ම කුරිරු මිලිටරි සහ ආර්ථික යුධ ප්‍රතිපත්තිවලට එරෙහිව නොනවතින සටනක් දියත් කිරීමට ජාතීන් දෙකම සමත් වී ඇති බව ද දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දේ.

11

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here