කැරපොත්තන්ගේ කරදරයෙන් මිදෙන්නේ කොහොමද ?

0
10


නිවසක් තුළ බෝවිය හැකි කරදරකාරී ම සත්ත්ව විශේෂයක් ලෙස කැරපොත්තන් හඳුන්වන්න පුළුවන්.රෝග වාහකයෙක් ලෙසද සැලකෙන මෙම කැරපොත්තන් ඉතා ඉක්මනින් බෝවීමේ ඉඩකඩ තියෙනවා.ගෘහණියන්ට තිබෙන ගැටලු අතරින් විශාලතම ගැටලුවක් වන කැරපොත්තන් බෝවීම පිළිබඳව මෙම ලිපියෙන් කතා කරන්නට අපි හිතුවා.කැරපොත්තන්ගේ කරදරයෙන් මිදෙන්නේ කොහොමද කියලා හිතන ඔබට මෙම ලිපිය ගොඩක් වැදගත් වේවි 

කැරපොත්තන් බෝවිය හැකි වඩාත් පොදු හේතුවක් වන්නේ අපිරිසිදු භාජනයි.රාත්‍රියේදී ඔබ ආහාර ගන්නා පිඟන් සහ භාජන පසු දිනට සෝදා දැමීමේ බලාපොරොත්තුවෙන් ඒවා සින්ක් එක තුළ ගොඩ ගසා තිබෙනවා නම් ඔබ විසින් එම පුරුද්ද වහාම නතර කළ යුතුයි.සින්ක් එක නිතරම පිරිසිදුව තබා ගැනීමට ඔබ වගබලා ගත යුතු අතර ඔබ එය ප්‍රයෝජනයට නොගන්නා සෑම විටෙකම වියලිව තබා ගැනීමත් කළ යුතුයි 

කැලිකසල හේතුවෙන් කැරපොත්තන් බෝවීම ඉතා වේගවත් වනවා.ඔබ භාවිතා කරන්නේ විවෘත කසල බඳුනක් නම් ඔබේ නිවසේ විශාල වශයෙන් කැරපොත්තන් බෝවීමේ ප්‍රවණතාවක් තියෙනවා.එම නිසා සෑම විටම කැලිකසල සඳහා හොඳින් පියන වැසිය හැකි කසල බඳුනක් තෝරාගන්න.ඒ වගේම නිවසේ එකතුවෙන කැලිකසල ඉතා ඉක්මනින් බැහැර කිරීමටත් ඔබ වගබලා ගත යුතුයි   

ඔබ මුළුතැන්ගෙයි ආහාර පිසින විට කෑම කැබලි හෝ වෙනත් ආහාරමය ද්‍රව්‍ය බිම මතට වැටීම සාමාන්‍ය දෙයක්.සියල්ල එකවරම පිරිසිදු කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබ ඒවා එසේම තිබෙන්නට හරිනවා නම් ඔබේ මුළුතැන්ගෙට පහසුවෙන් කැරපොත්තන් ආකර්ෂණය වීම විය හැකියි.එම නිසා ඔබේ මුළුතැන්ගෙයි පොළොව සහ කෑම මේසය අවට පොළව නිරන්තරයෙන්ම පිරිසිදුව තබා ගැනීමට සැලකිලිමත් වන්න 

ඔබේ නිවසේ කුමන හෝ ස්ථානයක නිතරම පාහේ ජල කාන්දුවක් පවතිනවා නම් හෝ කුමක් හෝ ස්ථානයක් නිතරම තෙත් ව තිබෙනවා නම් එය කැරපොත්තන් ආකර්ෂණය කරගන්නා චුම්භකයක් වැනි ය.තෙතමනය සහිත ප්‍රදේශවල ජීවත් වීමට කැරපොත්තන් ඉතා ප්‍රිය කරන අතර එය ඔවුන්ගේ වැඩීම සඳහා අවශ්‍ය එක්තරා සාධකයක් ද වේ.එම නිසා ඔබේ නිවසේ ඇති එවැනි ස්ථාන පිළිසකර කිරීමට වගබලා ගන්න 

ලෙමන් ගෙඩියක යුෂ උණු වතුර කෝප්පයකට මිශ්‍රකර එයට බේකින් සෝඩා මේස හැඳි දෙකක් එකතු කරන්න.එම මිශ්‍රණය ඔබේ මුළුතැන්ගෙයි සින්ක් එක වටා සහ ඒ අවට ස්ථාන වලට හොඳින් ඉසින්න.

උණු වතුර කෝප්ප එකකට විනාකිරි කෝප්ප එකක් මිශ්‍රකර රාත්‍රියේ දී ඔබගේ මුළුතැන් ගෙයි ජල කරාමය අවට ,kitchen top එක අවට ආදි කැරපොත්තන් පැමිණිය හැකි සියලුම සියලුම ස්ථානවලට ඉසින්න.ඒ වගේම මෙම ද්‍රාවණය සින්ක් එක තුලට වත්කරන්න.එවිට ඒ හරහා කැරපොත්තන් පැමිණීම වළක්වනවා මෙන්ම විෂබීජහරණය ද සිදු වනවා.

 
ඔබේ මුළුතැන්ගෙයි සිටින කැරපොත්තන් සහ වෙනත් කෘමීන් පලවා හැරීමට හොඳම විසඳුමක් ලෙස කොහොඹ කොළ සාරය හඳුන්වන්න පුළුවන්. කොහොඹ කොළ හොඳින් කොටා ,එම යුශ මුළුතැන්ගෙයි කැරපොත්තන් පැමිණිය හැකි ස්ථානවලට රාත්‍රියේදී ඉසින්න.නැතිනම් කොහොඹ තෙල් ස්වල්පයක් උණුවතුර සමග මිශ්‍රකර ඉසින්නට ද ඔබට පුළුවන් 

කුරුදු වල ඇති ප්‍රබල සුවඳ නිසා කැරපොත්තන් පැමිණීම සහ බෝවීම පහසුවෙන්ම වළක්වා ගන්නට පුළුවන්.ඔබ කළ යුතු වන්නේ රාත්‍රී කාලයේදී කුරුඳු කැබැල්ලක් හොදින් කොටා ,එම කුරුඳු කුඩු කැරපොත්තන් පැමිණිය හැකි ස්ථානවලට ඉස තැබීම පමණයි 

කැරපොත්තන්ගේ පැමිණීම වැළැක්විය හැකි තවත් ක්‍රමයක් තමයි බේ කොළ කියන්නේ.බේ කොළ කිහිපයක් කුඩුකර කැරපොත්තන් පැමිණෙන ස්ථානවල සහ , මුලුතැන්ගෙයි සින්ක් එක අවට ප්‍රදේශවල ඉස තබන්න.නැතිනම් බේ කොළ කිහිපයක් හොඳින් තම්බා එම වතුර මුළුතැන්ගෙයි අවට ස්ථානවල රාත්‍රී කාලයේ දී ඉස තබන්න

වෙළෙඳ පොළෙහි ඇති මිල අධික රසායනික ද්‍රව්‍ය සහ පලිබෝධ නාශක ද්‍රව්‍ය වලට වඩා නිවසේදීම සොයා ගත හැකි අමුද්‍රව්‍ය වලින් කැරපොත්තන් බෝවීමේ තත්ත්වයන් පාලනය කිරීම වඩාත් ආරක්ෂාකාරී වනවා.මෙවැනි සරල ක්‍රම අනුගමනය කිරීම මගින් ගෘහනියක් වශයෙන් ඔබට ඇතිවිය හැකි විශාල ම ගැටළුවක් වන කැරපොත්තන් බෝවීමේ කරදරයෙන් අත්මිදෙන්නට පුළුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here