කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින (09) කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් අයෙකු වන අතර, ඔහු කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස් එරට පුරවැසිභාවයද ලබා ඇති අයෙකි.
සැකකරු එම තත්ත්වය උපයෝගි කරගනිමින් මොහු පුද්ගලයින්ගෙන් රැසකගෙන් මුදල් අයකර ඇති අතර, ඔහුගේ ජාවාරමට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු කාර්යාංශය වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කර ඇත.
ඒ අනුව කාර්යාංශය විසින් මෙම සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක්ද පැනවීමට පියවර ගෙන තිබුණි.
පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන් ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කරගත හැකි බව පවසා සැකකරු ඊයේ දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට මුදල් අයකිරීම හා වංචා සිදුකිරීම යන චෝදනාවට එරෙහිව විමර්ශන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ රුමේනියාව, පෝලන්තය, ජර්මනිය වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා දැන්වීම් පළකර මුදල් අයකළ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (09) කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ නිව් රෝයල් රෙක්රූට්මන්ට් නමින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය පැමිණිල්ලක් ලැබී තිබේ.
ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මෙම පුද්ගලයා කැඳවා ඇති අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු පුද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් ගුරුවරයෙකු වශයෙන්ද කටයුතු කරන අයෙකු වන අතර ඔහුට එරෙහිව තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර, ඊට අදාළවද විමර්ශන මෙහෙයවමින් පවතින බවද එම කාර්යාංශය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුද අද දින (10) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
මේ අතර විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ අදහසක් අනුව ආරම්භ කරන ලද මෙම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයින් සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන අතර, එම පැමිණිලි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන මෙහෙයුම් පුළුල් කර තිබේ.
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112 882 228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙසද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Saru FM Media