Monday, May 5, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් ක්ලබ් වසන්ත youtube ඇවිත් කිව් දේවල් නිසා ඝාතනය කරා – “ලොකු පැටී”...

ක්ලබ් වසන්ත youtube ඇවිත් කිව් දේවල් නිසා ඝාතනය කරා – “ලොකු පැටී” කළ හෙළිදරව්ව

0
2


club-wasantha-murder-loku-patty

දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාකඳුරේ මධූෂ්ගේ මුදල් ලබාදෙන ලෙස කංජිපානි ඉම්රාන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම මත ඇතිවූ ආරවුල හා පසුව යූටියුබ් ඔස්සේ කළ නොරිස්සුම් කතා හේතුවෙන් ක්ලබ් වසන්ත ඝාතනය කළ බව බෙලරූස් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ඊයේ රැගෙන ආ “ලොකු පැටී” නමැත්තා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර තිබේ.

ලොකු පැටී නමින් හඳුන්වන මෙම සැකකරු, කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කළ, අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තා වේ. ජාත්‍යන්තර රතු නිවේදන මත අත්අඩංගුවට ගත් ඔහු, ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනීමැරුම්, වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියක සැකකරුවෙකි.

කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ්ගේ මුදල් ගැටලුව

ලොකු පැටී කළ හෙළිදරව්ව අනුව, මාකඳුරේ මධූෂ්ගේ මුදල් ක්ලබ් වසන්ත සතුව තිබී ඇති බැවින් ඒවා කංජිපානි ඉම්රාන් ඉල්ලා සිටින අවස්ථාවේ ක්ලබ් වසන්ත ඔහුට බැණ වැදී ඇත. මෙම සිදුවීම හේතුවෙන් කංජිපානි දැඩි ලෙස ක්ලබ් වසන්ත සමග උරණ වී සිටි බවත්, කංජිපානි ඉම්රාන් ලොකු පැටී සමග එක්ව ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බවත් සැකකරු පාපොච්චාරණයේදී හෙළි කර ඇත.

සැකකරු තවදුරටත් පවසා ඇත්තේ, ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් “ටැටූ මල්ලී” නැමැත්තා තම උපන් ගමේ වීම හේතුවෙන් ඔහුවද ඒ සඳහා යොදාගත් බවයි.


ක්ලබ් වසන්තගේ යූටියුබ් සාක්ෂ්‍යය

ලොකු පැටී නමැති සැකකරු තම පාපොච්චාරණයේදී, ක්ලබ් වසන්ත ප්‍රසිද්ධ යූ ටියුබ් නාළිකාවක් සමග පැවැති සංවාදයකදී සඳහන් කළ ප්‍රකාශයක් ගැනද අනාවරණය කර ඇත. එනම්, ක්ලබ් වසන්ත එම සංවාදයේදී තමාට තරහකාරයෝ දෙදෙනෙකු සිටින බවත්, එක් අයෙකු මිය ගිය බවත්, අනෙකා බියෙන් රට පැන ගිය බවත් ප්‍රකාශ කර ඇති බවයි.

ලොකු පැටී හෙළි කරන ආකාරයට, ක්ලබ් වසන්ත විසින් “මළා” යැයි සඳහන් කර ඇත්තේ මාකඳුරේ මධූෂ් ගැන වන අතර, “රට පැන්නා” යනුවෙන් හඳුන්වා ඇත්තේ කංජිපානි ඉම්රාන් පිළිබඳවයි.


ව්‍යාජ ගමන් බලපත්‍ර සහ රටින් පලා යාම

සැකකරු ලොකු පැටී තවදුරටත් පාපොච්චාරණය කර ඇත්තේ, තමන් ව්‍යාජ විදේශගමන් බලපත්‍රයක් සකසාගෙන ඩුබායි රාජ්‍යයට පලා ගිය බවයි. ඉන්පසුව ඔහු රොටුඹ අමිල නම් පාතාල කල්ලි සාමාජිකයා සමග බෙලරූස් රාජ්‍යයට ගොස් එහිදී අත්අඩංගුවට පත් වූ බවද හෙළි කර ඇත.

ජාත්‍යන්තර රතු නිවේදන මත අත්අඩංගුවට ගත් ලොකු පැටී නමැති සැකකරු ඊයේ (04) දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත. මේ වන විට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුගේ ප්‍රකාශය මත පදනම්ව තවත් සැකකරුවන් සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධව ලොකු පැටීගේ පාපොච්චාරණය මත පදනම්ව, කංජිපානි ඉම්රාන් ඇතුළු අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි බලධාරීහු පවසති.
-සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කටවරද්දාගත් බවට සැලකිය හැකි සුදා සමග කළ සාකච්ඡාවේ වීඩියෝ කොටස පහතින්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here