‘ක්‍රිප්ටෝ මුදල්’ ආයෝජන ඉතා අවදානම්

0
2

දැනට නීතියක් නැහැ

‘ක්‍රිප්ටෝ’ ආයෝජනවලින් විශාල මූල්‍ය පාඩු සිදුවෙලා

කෙතරම් මහජන දැනුවත් කිරීම් කළත් පිරමිඩ ජාවාරම්, අනවසර තැන්පතු ගැනීම්, අධික ප්‍රතිලාහ දෙන බව කියා ප්‍රචාරය කරන වගා ආයෝජන ව්‍යාපෘති මෙන්ම, මෙන්ම විවිධ ඔන්ලයින් මූල්‍ය වංචා හා නොයෙකුත් රැවටීම්වලට මහජනයා නිරන්තරයෙන්ම මුළා වෙමින් සිටින බව රහසක් නොවේ. මේ ලියුම්කරුගේ පුවත්කලා ජීවිතය තුළ මේ ගැන දැනුවත් කිරීම්, මහජනයාට තේරෙන සරල භාෂාවෙන් කොතෙකුත් සිදු කිරීමට උත්සාහ කර ඇත. අප එදා පිරමිඩ ජාවාරම් ගැන වර්ෂ 2003 තරම් ඈත දී කතා කළේ ඒවා මෙරට බෙහෙවින් පැතිර යමින් තිබුණු, එසේම ඒවා මෙරට නීතියෙන් පවා තහනම් කිරීමටත් පෙර සිටය. පසුව පිරමිඩ් ජාවාරම් වර්ෂ 2005 දී නීතියෙන්ම තහනම් විය. එසේ වුවත් ඊට පසුව මේ දක්වාම පාහේ ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මේ ජාවාරම්වලට බොහෝ දෙනෙක් ගොදුරු වූ බව ද රහසක් නොවේ. මේවාට ගොදුරු වී තම වටිනා ධනය අහිමි කරගත් පසු ඇතැම් විට නීතියෙන් පිළිසරණක් පැතිය හැකි වුවත් ඒ අහිමි වූ ධනය නැවත ලබා ගැනීම නම් එතරම් පහසු කටයුත්තක් නොවේ. මේ පසුබිම තුළ අප මේ කතා කිරීමට යන්නේ පසුගිය දිනවල රටේ පුළුල් ලෙස කතාබහට ලක් වූ ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු ගැනය.

පසුගිය දිනවල ක්‍රිප්ටෝ මුදල් ගැන පුළුල් කතාබහක් ඇති වූයේ රජයේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ තුළ ද ක්‍රිප්ටෝ මුදල් ආයෝජන කර ඇති බවට සඳහන් කර තිබීම අනාවරණය වීම නිසාය. මේ කියන “ක්‍රිප්ටෝ මුදල්” ලංකාව තුළ නීත්‍යානුකූල ද, ඒවා මෙරට ගනුදෙනු කළ හැකි ද සහ ඒවාට මුදල් ආයෝජනය කර ඇත්තේ මෙරට බැංකු පද්ධතිය හරහා ද යනාදී කරුණු කරණා ගැන පසුගිය දිනවල සමාජය තුළ දැඩි කතාබහක් ඇති වූ අතරම පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී ද මාධ්‍යවේදීන් විසින් මේ ගැන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී කියවුණු ප්‍රධාන කරුණු දෙකක් නම් ‘ක්‍රිප්ටෝ මුදල්’ සම්බන්ධයෙන් දැනට නීතියක් නැති බව සහ ක්‍රිප්ටෝ මුදල්වල මුදල් ආයෝජනය කිරීම ඉතාම අවදානම් සහගත බවයි. ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් රටේ නීතියක් නැති නිසාත් ඒවායේ මුදල් දැමීම ඉතාම අවදානම් සහගත නිසාත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මහජනයා ඉතාම ප්‍රවේසම් විය යුතුය. මේ අවදානම ගැන මීට පෙර මහ බැංකුව විසින් ද මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මහජනයා දැනුවත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018, 2021,2022 සහ 2023 වසරවලදී මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ක්‍රිප්ටෝ මුදල් භාවිතය මගින් පරිශීලකයන්හට ඇතිවිය හැකි සැලකිය යුතු මූල්‍ය, මෙහෙයුම්, නෛතික සහ ආරක්ෂාව සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂණ ගැටලු පිළිබඳව දැනටමත් අවධාරණය කර ඇත. ඒ නිසා රජයේ ඇමැතිවරු මේවායේ මුදල් ආයෝජනය කර වත්කම් වශයෙන් තබා ගත්තා කියා අමුතු ආරක්ෂාවක් ලැබෙන්නේ නැත.

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් වූ මෑතකාලීන මහජන විමසීම් සහ නිරීක්ෂණය වූ වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට අවධාරණය කර ඇත. ක්‍රිප්ටෝ මුදල් ලෙස සලකන්නේ රටක පිළිගත් මූල්‍ය අධිකාරියක මැදිහත්වීමකින් තොරව පුද්ගලික වශයෙන් ජනනය කරනු ලබන අතථ්‍ය මුදල් වර්ගයකි. මහ බැංකුව කියන්නේ මෙම ක්‍රිප්ටෝ මුදල්, ගුප්තකේතන විද්‍යාව සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය හෝ ඒ හා සමාන තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාවට නංවන, වටිනාකම් පිළිබඳ ඩිජිටල් නිරූපණයක් ලෙස හැඳින්විය හැකි බවයි. මේ කියන තාක්ෂණික පැහැදිලි කිරීම් සාමාන්‍ය ජනයාට එතරම් ගෝචර නොවනවා විය හැකිය. එහෙත් අපට ඔවුන් වෙනුවෙන් කිව හැක්කේ ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන ක්‍රමයක් ලෙස විවිධ පුද්ගලයන් සහ ව්‍යාපාර විසින් පුළුල් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන බව බලධාරීන්ට නිරීක්ෂණය වී ඇති බවයි. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පසුගිය කාලයේ ලැබී ඇති පැමිණිලිවලින් පෙනී ගොස් ඇත්තේ, එසේ සිදුකරනු ලැබූ ආයෝජනවලින් මහජනතාවට විශාල ලෙස මූල්‍ය පාඩු සිදු වී ඇති බවයි. එසේම ඇතැම් අවස්ථාවල ක්‍රිප්ටෝ යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ මූල්‍ය වංචාවවලට ද ඇතැම් අය හසුව ඇත.

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් වර්ෂ 2023 මාර්තු 29 වැනිදා මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදයේ මෙසේ සඳහන් විය.

‘මෑත කාලයේ සිදු වූ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරවල නිරත වූ විවිධ ගෝලීය ආයතනවල කඩා වැටීම් සහ ඇතැම් ක්‍රිප්ටෝ මුදල්වල ස්ථාවරත්වය අඩු වී යෑමෙන් ඒවායේ වටිනාකම බෙහෙවින් අඩු වීමත් සමග මෙම අවදානම් සහ ගැටලු නැවතත් තහවුරු විය. එසේම, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ පිළිගත් වත්කම් ප්‍රභේදයක් නොවන අතර එය නියාමනය නොවන ආයෝජන උපකරණයක් බවට මහජනතාවට නැවතත් අවධාරණය කරයි. තවද, ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් (Legal Tender) ලෙස නොසලකන අතර ඒවායේ භාවිතය සම්බන්ධයෙන් මෙරට තුළ නියාමන ආරක්ෂණයක් නොමැත. තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාරව ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් හුවමාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිතා කිරීමට ද අවසර නොමැත. ක්‍රිප්ටෝ මුදල් අවිධිමත් මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන බැවින් එය ජාතික ආර්ථිකයට දායකත්වයක් නොදක්වන අතර රටට වටිනා විදේශ මුදල් අහිමි වීමට ද එය හේතුවක් විය හැකිය.

ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජන කර ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන්වල ශීඝ්‍ර වර්ධනයක් පෙනී යන බව මහජනතාව වෙත අනතුරු අඟවනු ලැබේ. ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම මගින් අධික ප්‍රතිලාභ ලබාදීමේ පොරොන්දුව ඇතිව පුද්ගලයන්ගෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම මෙන්ම වංචනික ක්‍රිප්ටෝ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් පුද්ගලයන් රැවටීම ද මෙම වංචාවලට ඇතුළත් වේ. මෙම වංචාවන් පිළිගත් නියාමන සහ නෛතික ආරක්ෂණ යාන්ත්‍රණයන් මඟහරින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාවට සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය අහිමි වී ඇත.’

අපට ඇති ආරංචි අනුව මේ ආකාරයෙන් ක්‍රිප්ටෝ මුදල්වල මුදල් ආයෝජනය කළ අයට පාඩු සිදුව ඇති අතරම, ඒ ගැන මහ බැංකුව ඇතුළු බලධාරීන්ට ඔවුන් විසින් පැමිණිලි ද ඉදිරිපත් කර ඇත. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට මේ වන විටත් උපදෙස් දී ඇත්තේ, අන්තර්ජාලය, වෙනත් මාධ්‍ය හෝ සෘජුව විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලබන කිසිදු ආකාරයක ක්‍රිප්ටෝ මුදල් යෝජනා ක්‍රමයක ආයෝජනය නොකිරීම තුළින් සිය මහන්සියෙන් උපයාගත් වටිනා ධනය ආරක්ෂා කරගන්නා ලෙසයි. එහෙත් මේ උපදෙස් නොතකා ඇතැම් අය, මහජන නියෝජිතයන් පවා ක්‍රිප්ටෝ මුදල්වල සල්ලි දමා ඇති බව මේ වන විට රටට රහසක් නොවේ. දැනට ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් රටේ නීතියක් නැති නිසා ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම නීති විරෝධී කටයුත්තක් නොවන බවට කියා සිටිය හැකිය. මේ සම්බන්ධයෙන් අපට කිව හැක්කේ ක්‍රිප්ටෝ මුදල් අප රට තුළ නීතිගත කිරීමක් හෝ තහනම් කිරීමක් සිදුකර නැති බවයි. දැනට මේ ගැන නීතියක් නැති නිසා ඉදිරියට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යම් නීතිමය රාමුවක් ඇති කර ගැනීම අවශ්‍ය වේ. මෙය රජය විසින් ගත යුතු තීරණයක් වන අතර ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කළ යුතු ආකාරය ගැන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන ලෙස මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් මහ බැංකුව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් ද එකඟතාවක් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ගවලින් අපට දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාව, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ඉදිරියට කෙසේ කටයුතු කරන්නේ ද යන්න ගැන යම් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමට නිර්දේශ ලබාගැනීම මේ යෝජනා කර ඇති කමිටුවේ අපේක්ෂාව බව ද එම ආරංචිමාර්ගවලින් පැවසේ.

දැනට තිබෙන තත්ත්වය නම් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට කිසිදු බලපත්‍රයක් හෝ අවසරයක් මහ බැංකුව විසින් ලබා දී නොමැති බවයි. එසේම ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ මූලික කාසි නිකුතුවකට හෝ එහි කිසිදු ප්‍රභේදයකට, ක්‍රිප්ටෝ මුදල් ජනනය කිරීමේ කාර්යයකට, ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවකට ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධ තැන්පතු භාරගැනීම හෝ භාරකාර සේවා සැපයීමට හෝ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන උපදේශන සේවාවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බව මහ බැංකුව විසින් දැනටමත් මාධ්‍ය නිවේදන මගින් රටේ ජනයාට කියා ඇති නිසා මේ කටයුතුවල නිරත වන අයට සිදුවනු ඇත්තේ එහි අවදානම් මුළුමනින්ම තමාටම දරා ගැනීමටය.

ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධව පවතින විවිධ ආකාරයේ අවදානම් සහ එමගින් මහජනතාව හට ඇතිවන මූල්‍යමය අලාභ ඇතුළු අනෙකුත් අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින්, ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කිරීම ප්‍රවර්ධනය කරන සහ එසේ ප්‍රවර්ධනයට සහය දෙන පාර්ශ්වයන් වෙත එවැනි කටයුතුවලින් වළකින ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 මාර්තු 29 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් දැඩිව අවධාරණය කරනු ලැබ තිබේ. රජයන් වෙනස් වුවත් මහ බැංකුවේ මේ ස්ථාවරය තවමත් වෙනස් වී නැතැයි අපි සිතමු.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය (2025.09.24) මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ක්‍රිප්ටෝ මුදල් ගැන ප්‍රශ්න කළේය. මේවාට තවමත් නීතියක් නොමැති බව අප දැන සිටි නිසා මේ ලියුම්කරු වැඩි වශයෙන් ප්‍රශ්න කළේ මේ ක්‍රිප්ටෝ මුදල්වලට ගෙවීම් කිරීම ගැනයි. ඒ සඳහා රටේ බැංකු පද්ධතිය යොදා ගන්නේ ද යන්නයි. නිල වශයෙන් එසේ කිරීමට නොහැකි වුවත් දැනට ක්‍රිප්ටෝ මුදල් වත්කම් ලෙස ළඟ තබාගෙන සිටින මෙරට අය ඒවාට ගෙවීම් කිරීම සඳහා රටේ බැංකු පද්ධතිය යොදා නොගත් බවට මහ බැංකුවට සහතික විය නොහැකිය. මේ ලියුම්කරු මේ ගැන මෙන්ම ක්‍රිප්ටෝ මුදල් ගැන රජයත් සමග එක්ව මහ බැංකුව ඉදිරියට කිරීමට යන දෙයද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් ප්‍රශ්න කරමින් සිටින අතරේ, මහ බැංකුවේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය වහා මැදිහත්ව ඊට බාධා කළාය. ‘මම හිතන්නේ දැන් අපට වෙන ප්‍රශ්නයකට යොමුවෙන් පුළුවන්’ කියමින් මහ බැංකුවේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය විසින් මේ ලියුම්කරුගේ ප්‍රශ්න ඇසීම නතර කිරීමට උත්සාහ කළාය. මෙසේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීමට බාධා කිරීම හෝ ප්‍රශ්න ඇසීම සීමා කිරීමට මහ බැංකු සන්නිවේදන අධ්‍යක්ෂවරිය කටයුතු කිරීම කනගාටුවට කරුණකි. මහජනතාව වෙනුවෙන් ආර්ථික කරුණු කාරණා ගැන අපගේ ප්‍රශ්න ඇසීමට මෙසේ බාධා කිරීම, මෙතෙක් මහ බැංකු මාධ්‍ය හමුවකදී කිසි විටකත් අප අත් නොවිඳි දෙයකි. බැඳුම්කර මගඩිය සමයේ ඒ ගැන බලවත් ලෙස අප විසින් විවේචනය කළ අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සමයේවත් කිසිවිටෙකත් මාධ්‍යවේදීන්ට මෙවැනි ප්‍රශ්න කිරීමේ බාධාවක් සිදුව නොමැති බව ද සිහිපත් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෑතදී වෙනම පනතකින් තවත් ස්වාධීන කළ බලගතු ආයතනයකි. ඒ නිසා පෙර මෙන්ම අදත් ඇතැම් මහ බැංකු නිලධාරීන් කටයුතු කරන්නේ ඉතා අධිපතිවාදී මානසිකත්වයෙන් මෙන්ම සාමාන්‍ය ජනයා ගැන එතරම් තැකීමකින් තොරව බව ද ඇතැම් අය අප සමග කියා ඇති කතාවකි. මහ බැංකුව සමග අප කටයුතු කර ඇති දිගුකාලයේ දී ඇතැම් නිලධාරීන් වෙතින් මේ බව අප ද අත්දැක නැතුවා නොවේ. වෙනම පනතකින් ස්ථාපිත කළත් මහ බැංකුවත් මෙරට මහජනතාවට වගකිව යුතු ආයතනයකි. ඒ ආයතනයට බලය ලැබුණේ කෙසේ ද? පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකිණි. එනම් නව මහ බැංකු පනත සම්මත කළේත් ජනතා පරමාධිපත්‍ය බලය යටතේ මෙරට උත්තරීතර පාර්ලිමේන්තුවෙන් බව ද සිහිපත් කළ යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here