විවාහයට මුදල් සොයාගැනීම සඳහා මාවතගම, වටරැක, කැටවල පුරාණ විහාරයේ තිබූ ඉපැරණි පිත්තල පහනක් සොරාගත් බව කියන පුද්ගලයින් තිදෙනකු ඉඟුරුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස සොරාගෙන ඇති පිත්තල පහන පෞරාණික වටිනාකමකින් යුතු දොළොස් මහේ පහනක් බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බවත් පොලිසිය කියයි.
නිවෙස්වල පරණ බඩු එකතු කිරීමට යන කණ්ඩායමක් ලොරියකින් පැමිණ වටරැක ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී මොවුන් කැටවල විහාරස්ථානයට ගොස් තිබේ. එහිදී එක් අයකු විහාරාධිපති හිමියන් සමග කතා බහ කරමින් සිටියදී අනෙක් දෙදෙනා පිත්තල පහන සොරාගෙන ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි. පසුව එම පහන නාරම්මල ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන වෙළෙඳසලකට අලෙවි කර තිබියදී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගේ විවාහ මංගල උත්සවයට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම සොරකම සිදුකර ඇතැයි ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බවද පොලිසිය පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කාන්තිමාලා උඩගෙදර – මාවතගම
Saru FM Media