හිසකෙස් රැක ගැනීමට සහ හිසකෙස් සම්බන්ධ බොහෝ ගැටලු වලට පිළියම් ලෙස භාවිතා කළ හැකි ස්වාභාවික අමුද්‍රව්‍ය බොහොමයක් තියෙනවා. එයින් එක අමුද්‍රව්‍යක් ලෙස කරාබු නැටි සැලකෙනවා. දිගු කෙස් කළඹකට කැමති ඔබට ඔබේ හිස කෙස් දිගට වවාගන්න කරාබුනැටි භාවිතා කරන්න පුළුවන් ආකාරයයි අපි අද ඔබට කියන්නේ.
ඉතා ඉක්මනින් හිස කෙස් වර්ධනය කර ගැනීම සඳහා ඔබට කරාබු නැටි තෙල් ගෙදරදීම සකස් කරගන්න පුළුවන්. ඔබ සකස් කර ගන්නා කරාබු නැටි තෙල් බින්දු කිහිපයක් තවත් තෙල් වර්ගයක් සමඟ මිශ්‍ර කර හිස කෙස් වල ගල්වා හොඳින් සම්බාහනය කර පැයක් දෙකක් පමණ තිබෙන්නට හැර හිස කෙස් සෝදා හරින්න ඔබට පුළුවන්.
එසේ නැත්නම් , ඔබ භාවිතා කරන ෂැම්පු වර්ගයට නිවසේදී සකස් කරගත් කරාබු නැති තෙල් බින්දු කිහිපයක් එකතු කර භාවිතා කරන්නත් ඔබට පුළුවන්.
නැවුම් කරාබු නැටි ඉතා හොඳින් කුඩු කර ගන්න
පිරිසිදු සහ වියළි වීදුරු බෝතලයකට එම කරාබු නැටි කුඩු එකතු කර පිරිසිදු පොල්තෙල් එයට එකතු කරන්න
පොල්තෙල් සහ කරාබු නැටි කුඩු හොඳින් මිශ්‍ර වීම සඳහා බෝතලයේ මූඩිය වසා හොඳින් සොලවන්න
මෙම බෝතලය හිරු එළිය නොවැටෙන ස්ථානයක දින පහක් හයක් පමණ කාලයක් තියෙන්නට හරින්න.
භාවිතයට ගැනීමට පෙර තෙල් හොඳින් පෙරා ගන්න
ඔබට මෙය ඉක්මනින් භාවිතයට ගැනීමට අවශ්‍ය නම් තෙල් ඉතාම අඩු ගින්දරේ රත් කර , හොඳින් නිවා ඉන්පසුව පෙරාගෙන භාවිතයට ගන්න.
නැවුම් කරාබු නැටි වලින් සකස් කර ගත හැකි කරාබු නැටි ජලය ඔබට නිවසේදීම සකස්කර ගෙන ශීතකරණයේ තබාගෙන සතියක් හෝ දෙකක් භාවිතා කරන්නට පුළුවන්. ඔබ ෂැම්පු සහ conditioner භාවිතා කර ස්නානය කළ පසු කරාබු නැටි ජලය ඔබේ පිරිසිදු සහ තෙත හිසකෙස් වලට ස්ප්‍රේ කර ගන්න.
කරාබු නැටි වතුර සකස් කර ගැනීම සඳහා ,
පිරිසිදු භාජනයක් ලිප තබා එයට වතුර කෝප්ප දෙකක් එකතු කරන්න
වතුර රත් වීගෙන එන විට එයට නැවුම් කරාබු නැටි දහයක් හෝ පහළොවක් , නැත්නම් කුඩු කරගත් කරාබු නැටි මේස හැඳි දෙකක් එකතු කර ගන්න
ඔබට අවශ්‍ය නම් පමණක් මෙයට නැවුම් කරපිංචා කොළ එකතු කර ගත හැකියි
විනාඩි පහක් පමණ වතුර හොඳින් උතුරවා ගන්න
සකස් කරගත් කරාබු නැති වතුර ලිපෙන් ඉවත් කරගෙන ඉතා හොඳින් නිවෙන්නට හරින්න
ඉන්පසුව එය පිරිසිදු බෝතලයකට දමා ශීතකරණයේ තබාගෙන සති දෙකක් ඇතුළත භාවිතා කරන්න
ඔබේ මුළුතැන්ගෙයින් ඔබට ඉතා පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍යක් වන කරාබුනැටි භාවිතයෙන් ඔබේ හිස කෙස් වර්ධනය කර ගත හැකි ආකාරයයි අපි මේ ලිපියෙන් ඔබට ගෙන ආවේ.
Saru FM Media