දේශීය උද්භිද මූලාශ්‍රවලට අනුව Gossypium විශේෂ 5ක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල මෙරටට හඳුන්වාදෙන ලද විශේෂයන් වේ. නමුත් වසර දෙදහස් ගණනකට පෙර විජය කුමරු ලංකාවට පැමිණෙන විට කුවේණිය කපු කැටමින් සිටි බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. මෙයින් කියවෙන්නේ කපු විශේෂ ලංකාවට හඳුන්වාදීමේ ඉතිහාසය විජය-කුවේණී යුගයටත් පෙර සිදූවූවක් බවද? නැති නම් වෙනත් යමක්දැයි සොයා බැලීම සිත්ගන්නා සුළු කරුණක් වනු ඇත.
වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල කපු වර්ග කීපයක් ගැන සඳහන්ව ඇත. නියම කපු සහ වල් කපු යනුවෙන් එක් වර්ගීකරණයක සඳහන්ව ඇති අතර තවත් වර්ගීකරණයකට අනුව මලේ පැහැය අනුව කහ, රතු සහ කළු යනුවෙන් කපු වර්ග තුනක් දක්වා ඇත. ගුණය අතින් මෙම සෑම කපු වර්ගයක්ම සමාන බව ඒවායෙහි සඳහන් වේ.
වාත රෝග, ගර්භාෂගත රෝග, ආර්තව ගැටළු, මුත්‍ර අඩස්සිය, ප්‍රදර රෝග, පාණ්ඩුව, ගෝනුසු විෂ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා කපු ශාකයේ කොළ, මුල්, මල්, ගෙඩි සහ ඇට භාවිතා කරයි. කපු වේදනා ස්ථාපන, වණ රෝපණය කරන, ස්නායු උත්තේජනය කරන, කපු කොළ ලේ වඩවන, ඇට හා කොළ මුත්‍ර කාරක ආදී ගුණ සහිත බව සඳහන්. එමෙන්ම විශේෂයෙන් කපු මල්වල අක්මාව උත්තේජනය කරන සහ විෂ නාශක ගුණ සහිත බවත්, මුලේ පොතුවල ගර්භාෂය සංකෝචණය කරන සහ ආර්තවය ඇති කරවන ගුණ සහිත බවත්, ඇටවල මද ශුක්‍රවර්ධනය කරන හා මව්කිරි වර්ධනය කරන ගුණ සහිත බවත් දක්වා ඇත.
වේදනාකාරී ආර්තවයට සහ ආර්තවය ඇති නොවන විට කපු මුලේ පොතු චූර්ණය හෝ කෂාය යොදා ප්‍රතිකාර කරයි. ප්‍රසවයේදී මුල් කෂාය යොදයි. මුත්‍ර අඩස්සියට බීජ චූර්යණය හෝ පත්‍ර ස්වරසය භාවිතා කරයි. පාණ්ඩුවට කපු මල් හාල්පානු වතුරෙන් අඹරා බොන්නට දෙයි. අතීසාරය සමඟ එන වමනයට යොදන ජලසන්නිකපාල ගුලිය සෑදීමට කපු ඇට භාවිතා කරයි. වල්කපු මුල් හා උක් මුල් විනාකිරෙන් අඹරා බොන්නට දීමෙන් මව්කිරි වර්ධනය වන බව සඳහන්. මිනිසුන්ගේ සහ හරකුන්ගේ උල් කටු ඇණුනු විට ඒවා ඇදීමට කපු කොළ, ගොන් කැකිරි අල, කෝවක්කා කොළ, ඔලිඳ කොළ සමව ගෙන කොටා බඳියි. ගොනුසු විෂට කපු ගෙඩි අඹරා ආලේප කරයි.
Saru FM Media