1983 ජූලි මස ආරම්භ වූ මේ රටේ බෙදුම්වාදී යුද්ධය වර්තමාන මිනීමරු සංස්කෘතියට බෙහෙවින් දායක විය. 83දී යුද්ධය පැවතුණේ උතුරේ පමණි. දකුණ යම් තරමකට සාමකාමී වී තිබිණ. මේ අතර ඉන් අවුරුදු 3කට පසු ලංකා ඉතිහාසයට එකතු වන සිද්ධියක් සිදුවිය.
ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් යූඑන්පීයේ මැදකොළඹ බලවතා ලෙස එකල සිටියේ ආනන්ද සුනිල් නමැත්තෙකි. මේ අතර විජය කුමාරතුංග දේශපාලන ලෝකයේ නමක් දිනාගැනීමත් සමගම ආනන්ද සුනිල් විජයට දේශපාලන ජැක් එකක් ගැසුවේය. එය පාලකයන්ගේත් සිත් රිදවූ ජැක් එකකි. ආනන්ද සුනිල්, පදිංචිව සිටියේ කොච්චිකඩේ පැත්තේ ෆ්ලැට් එකකය. දිනක් පුද්ගලයෝ සිව් දෙනෙක් පැමිණ ෆ්ලැට් එක පාමුල සිටි ආනන්ද සුනිල් රැගෙන ගියහ. මේ බව සුනිල්ගේ බිරිය වන සීතා කොඩිප්පිලි දුටු අතර ඒ කණ්ඩායමේ සිටි දෙදෙනකු හඳුනාගැනීමට ද ඇයට හැකි විය. එදා ගිය ආනන්ද සුනිල් කවදාවත් ආපසු ගෙදර ආවේ නැත. බලයේ සිටි කිසියම් දේශපාලනඥයකුගේ වුවමනාව මත ආනන්ද සුනිල් මරා දමා තිබිණ. ඔහුගේ මළසිරුර කොළඹ වරායේ දියකඩනයෙන් පහළට හෙළන ලදී. ඒ මළසිරුර කවදාවත් ගොඩගැසුවේ නැත. මේ අතර සීතා කොඩිප්පිලි කොච්චිකඩේ පොලිසිය, මෝදර පොලිසිය වැනි පොලිසිවල රස්තියාදු වෙමින් සිය සැමියා සොයන්නට පටන් ගත්තාය. අන්තිමේදී ඇය එවකට සිටි පොලිස්පති රුද්‍රා රාජසිංහට ද මේ ගැන පැමිණිලි කළාය. එදා ආනන්ද සුනිල් රැගෙන යද්දී සීතා කොඩිප්පිලි විසින් හඳුනාගන්නා ලද එක් පුද්ගලයකු වූයේ රිචඩ් සොයිසා පැහැරගෙන ගිය පොලිස්කාරයාමය. ආනන්ද සුනිල්ගේ මළ මිනිය හමු නොවුණු බැවින් ඔහු ඉන්නා තැනකින් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සීතා කොඩිප්පිලි හබයාස්කෝපස් පෙත්සමක් උසාවියට ඉදිරිපත් කළාය. මෙය ලංකාවේ පළමු වැනි හබයාස්කෝපස් පෙත්සමයි. ඒ වනවිට මිනිසුන් අතුරුදන් කර මැරීම ලංකාවේ ජනප්‍රිය සංස්කෘතියට එකතු වී තිබුණේ නැත. 1971 අප්‍රේල් කැරැල්ලේදී තරුණයන් තොග වශයෙන් අතුරුදන් වූ නමුදු කවුරුවත් ඒ සම්බන්ධයෙන් හබයාස්කෝපස් පෙත්සම් ඉදිරිපත් කර නොතිබිණ.
ඉහත සඳහන් කතාව අප විසින් කියන ලද්දේ එක් යුගයකදී මේ රටේ මිනීමැරුම් කොතරම් දුලභ අත්දැකීමක් වී ද යන්න කීම පිණිසය. අද මිනී මැරීම ඉතා සුළු දෙයකි. රුපියල් ලක්ෂ 2 1/2ටත් මිනී මරනු ලැබේ. මෙවැනි ඝාතනවලින් පසු තමන් පොලිසියට හසුවන බවත් එහිදී අම්බානක ගුටි කන්නට සිදුවන බවත් ඉන්පසු අවුරුදු ගණන් රිමාන්ඩ් එකේ ළගින්නට සිදුවන බවත් අන්තිමේදී එල්ලුම් ගස් යන බවත් මේ මිනීමරුවෝ දනිති. එහෙත් රුපියල් ලක්ෂ 2 1/2ක් වැනි පොඩි මුදලකට ඔවුහු මිනී මරති. හරක්කටා නමැති සංවිධානාත්මක අපරාධකරු උසාවියට ගෙන එන විට ඔහු ඝාතනය කිරීම සඳහා වැඩපිළිවෙළක් කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත විසින් සකස් කළ බව දැනගන්නට තිබේ. මේ සඳහා කොමාන්ඩෝ සලින්ත හමුදාවේ වැඩ කළ තම ඉහළ නිලධාරියකුගෙන් ක්ලේමෝ බෝම්බ 02ක් ඉල්ලා ඇත. ඔවුන්ගේ සැලසුම වී තිබුණේ මේ පැති බෝම්බය උසාවිය ඇතුළට එවා හරක් කටා මැරීමය. මෙවැනි පිපිරවීමකදී හරක් කටා පමණක් නොව මනුෂ්‍ය කටවල් ද විශාල ප්‍රමාණයක් හානි වීමට ඉඩ තිබිණ. නොඑසේ නම් මේ ක්ලේමෝ බෝම්බය මෝටර් සයිකලයක සවිකර එය මහමඟ නවත්වා හරක්කටා උසාවියට ගෙනයන බන්ධනාගාර බස් එක එතැන පහුකරනවිට දුරස්ථ පාලකයකින් අදාළ ක්ලේමෝ බෝම්බය පිපිරවීමට සලින්ත සහ පද්මේ සැලසුම් කළහ. හරක්කටා මැරුණා නම් ඔහු පිළිබඳ කතන්දරය එතැනින් අවසන් වෙයි. ඔහු සමග ගනුදෙනු කළ සහ ඔහුගේ මුදල් වියදම් කළ බවට සැකකෙරෙන බලගතු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ කතන්දරය ද එතැනින් අවසන් වෙයි. ඒ සියල්ලම යන්නේ අරාබි නිසොල්ලාසයේ වැනි ඔප්පු කළ නොහැකි කතන්දර ගොඩටය.
අපරාධකරුවකුට වෙඩි තබා මැරීම අන්තිම මෝඩ ක්‍රියාවකි. ඉන්දිරා ගාන්ධිට වෙඩි තබා මැරූ සීක් ජාතික ආරක්ෂක නිලධාරියා එවලේම වෙඩි කා මළේය. ඒ නිසා ඉන්දිරා ගාන්ධි ඝාතනය පිටුපස සිටි අය ගැන හරියටම සොයාගැනීමට බැරිවිය. ඇමරිකන් ජනාධිපති ජෝන් කෙනඩිට වෙඩි තබා මැරූ ලී හාවේ ඔස්වර්ල්ඩ් නමැත්තාට ද වෙඩි තබා මරන ලදී. ඒ නිසා කෙනඩි මැරීම ගැන තවදුරටත් සෙවීමට නොහැකි විය. ආයුධ පෙන්නන්නට ගෙනගොස් ඝාතනය කරන ලද මාකඳුරේ මදුෂ් ද ඉතා වැදගත් සාක්ෂිකාරයෙකි. ඔහු ජීවතුන් අතර සිටියේ නම් ආණ්ඩු පෙරළන කතා කීමට ඉඩ තිබිණ. මීට පෙර ද පොලිසිය විසින් සන්නද්ධ අපරාධකරුවන් අල්ලා ඔවුන් ආයුධ පෙන්වීමට ගෙනයන බව කියමින් මගදී වෙඩි තබා මරන ලදී. ආයුධ පෙන්වීමට යෑමේදී වෙඩි තබා මිනිසුන් මැරීම අවුරුදු 20කට වඩා පරණ නැති අලුත් සංස්කෘතියකි. මේ සංස්කෘතිය නිසා අපරාධකරුගෙන් තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය නිෂ්ප්‍රභ වේ. දැනට වැලිකඩ හිරගෙදර සිටින වෙලේසුදා නමැති අපරාධකරු ආයුධ පෙන්වීම සඳහා ගෙනයෑමට ඉඩ නොදෙන මෙන් ඉල්ලා ඔහුගේ මව උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළාය. උසාවිය එය පිළිගත්තේය. මේ අනුව එවැනි සිද්ධියකදී වෙලේසුදා මළොත් ඒ පිළිබඳ වගකීම භාරගැනීමට පොලිසියට සහ ඔහු සමග සිටි ආරක්ෂක අංශවලට සිදුවේ. පොඩි ලැසීගේ මව ද මෙවැනිම පෙත්සමක් ඉදිරිපත් කර ඇත. පසුගියදා ඇප ලැබුණු පොඩිලැසී ගැන අදටත් කිසිදු ආරංචියක් නැත. කංජිපානි ඉම්රාන් ගැන ද කිසිදු ආරංචියක් නැත. කංජිපානි ඉම්රාන් පිටරටක සිට තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවයි. එහෙත් පොඩිලැසී කොතැන සිටිත්දැයි කවුරුත් නොදනිති.
ශ්‍රී ලංකාවේ අපරාධ මර්දනය තුළ කිසියම් අවුලක් තිබෙන බව පෙනේ. කපුටන් ළගින ගහෙන් කපුටන් එළවනවා වෙනුවට ගහම කපා දැමීමේ සම්ප්‍රදායක් අප රටේ තිබේ. එවිට නැතිවන්නේ ගහ පමණි. කපුටන් පෙර පරිදිම වෙන ගසක් සොයාගෙන ගොස් ජීවත් වනවා ඇත.
Saru FM Media