කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ්!

0
2

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

2013 වසරේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර සැකකරුට ඇප ප්‍රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අනාවරණය වී නැතැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර කපිල චන්ද්‍රසේන තවදුරටත් අප්‍රේල් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මෙහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

පසුගිය 19 වැනිදින ද ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබිණි.

එදින එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.

එමෙන්ම අදාළ මුදල් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ගිණුමටත් යොමුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර ඒ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

කෙසේවෙතත් අනතුරුව කපිල චන්ද්‍රසේන සිය නීතිඥවරයා මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම් සහ ඔවුන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී යම් බලපෑමක් සිදු කළ බව හෝ යම් අයුතු දායකත්වයක් දැක්වු බව හෝ යම් මුදලක් ලබා ගත් බව සහ මාගේ බිරිඳගේ දායකත්වයක් තිබු බවට තමන්ගේ ප්‍රකාශයේ කුමන හෝ ස්ථානයක අඩංගු වේ නම් එම කරුණු තමන් ස්වේච්ජාවෙන් සිදු කරන ලද්දක් නොව බවයි.

ඔහු දිවුරුම් ප්‍රකාශය හරහා පවසා තිබුණේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට තර්ජනාත්මක ලෙස බලපෑම් කර ඔවුන්ට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන ලෙස බලපෑම් කළ බවයි.

The post කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here