කත්මණ්ඩු පාලනය හමුදාව අතට ගනී

0
6

රට පුරාම ඇඳිරි නීතිය පනවයි

බදාදා (10දා) නේපාල සොල්දාදුවන් එරට අගනුවර කත්මණ්ඩු ආරක්ෂාව තර කරමින් සැරිසරනු දක්නට ලැබුණු අතර නගරයේ සාමකාමී තත්ත්වයක් පෙනෙන්නට තිබිණි. අඟහරුවාදා (09දා) තරුණ විරෝධතාකරුවන් කඩාවැදී රජයේ ගොඩනැගිලිවලට ගිනි තබා දේශපාලනඥයන්ට පහර දීමෙන් පසු හමුදාව වීදී බැස සාමය ආරක්ෂා කිරීම සඳහා මුර සංචාර අරඹා තිබිණි.

නැවත සාමය ඇති කිරීම සඳහා ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස හමුදාව නියෝග කර තිබේ.

රට පුරාම ඇඳිරි නීතිය පනවා ඇත. නිරන්තරයෙන් වාහන හා පුද්ගලයින් පරික්ෂා කෙරේ.

අඟහරුවාදා සවස හමුදාව නිවේදනය කර සිටියේ හමුදාව නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැපවී සිටින බවයි. නේපාලයේ හමුදාව නීතිය සාමය රැකීම සඳහා යොදවන්නේ කලාතුරකිනි. එහෙත් පොලිසිය තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වීම නිසා හමුදාව බැරැක්කවල සිට නගරයට පැමිණ තිබිණි.

මේ අතර කොල්ලකරුවන් යැයි සැක කරන 27 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ප්‍රකාශයකින් කියැවිණි.

කත්මණ්ඩුවේ විරෝධතාකරුවන් අඟහරුවාදා නේපාලයේ විශාලතම මාධ්‍ය ආයතනය වන කාන්තිපූර් මාධ්‍ය සමූහය පිහිටා ඇති ගොඩනැගිල්ලකට ගිනි තැබූහ. කාන්තිපූර් මාධ්‍ය සමූහය යනු නේපාලයේ ප්‍රමුඛ මාධ්‍ය සමූහය වන අතර කාන්තිපූර් රූපවාහිනිය, රේඩියෝ කාන්තිපූර් සහ ද කත්මණ්ඩු පෝස්ට් වැනි ප්‍රමුඛ පෙළේ ආයතන එහි පිහිටා ඇත.

කත්මණ්ඩුහි විශේෂයෙන් සෙන්ට්‍රල් බිස්නස් පාර්ක් හි මූලස්ථානය පිහිටා ඇති මෙම ආයතනය 1993 සිට නේපාල ප්‍රවෘත්ති සහ තොරතුරු පිළිබඳ විශ්වාසදායක මූලාශ්‍රයක් වී තිබිණි. නේපාල මාධ්‍ය වාර්තාවලට අනුව විරෝධතාකරුවන් කාර්යාල ගිනි තැබීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයින් ගොඩනැගිලිවලින් ඉවත් කර තිබිණි.

නේපාලයේ කත්මණ්ඩු නුවර ෆෙඩරල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා දිනකට පසු පහළ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රකාශකයකු වන එක්රාම් ගිරි පවසා තිබුණේ ගින්නෙන් සියල්ල විනාශ වී ඇති බවයි.

චතුර පමුණුව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here