කණ්ඩායම් 1303 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පන්දු 22,684 ක්

0
1

සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන අවුරුදු 13 න් පහළ සහ අවුරුදු 19 න් පහළ බාළක සහ අවුරුදු 19 න් පහළ බාලිකා පාසල් තරග සඳහා ක්‍රිකට් පන්දු විසි දෙදහස් හයසිය අසූ හතරක් (22,684) ක් සහ ක්‍රිකට් උපකරණ කට්ටල ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන විධායක කමිටුවේ සංකල්පයකට අනුව අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩය යටතේ ඉදිරි පාසල් තරග වාරය නියෝජනය කරනු ලබන පාසල් 863 ක් සහ ලෙදර් පන්දුව භාවිතයෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන පාසල්වල දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම් ලත් දිස්ත්‍රික් කණ්ඩායම් 37ක් වශයෙන් කණ්ඩායම් 900ක් වෙනුවෙන්ද, අවුරුදු 19 න් පහළ තෙවැනි පෙළ බාලක නියෝජනය කරනු ලබන පාසල් 282 ක් සහ අවුරුදු 19 න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 121 ක් වෙනුවෙන් ද මෙම සමස්ත පන්දු සංඛ්‍යාව බෙදා දෙනු ලැබීය.

හම්බන්තොට

මීට අමතරව අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩය ක්‍රීඩා කරනු ලබන, එහෙත් බාලක ක්‍රිකට් සඳහා පරිහරණය කරනු ලබන ක්‍රිකට් උපකරණ ඇතුළත් උපකරණ කට්ටල නොලැබුණු පාසල් වෙනුවෙන් සහ දිස්ත්‍රික් කණ්ඩායම් වෙනුවෙන් වන උපකරණ කට්ටල 116 ක් ද මේ දිනවලදී බෙදා දීමට පියවර ගැනිණ.

නුවර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ද සහයෝගය ඇතිව සිදු කරන ලද මෙම පන්දු ප්‍රධානයේදී රතු පන්දුවට අමතරව පළමු පෙළ බාලිකා තරගාවලිය නියෝජනය කරනු ලබන බාලිකා පාසල් 14 කට ද සුදු පන්දු 268ක් ද පිරිනැමිණ. ඒ අනුව දෙවැනි පෙළ බාලිකා තරගවලිය නියෝජනය කරනු ලබන පාසල් 107ක් වෙනුවෙන් ග්‍රෑම් 142 ක බරකින් යුක්තව වන රතු පන්දු 1268ක් පිරිනැමිණ.

කොළඹ

මෙම පන්දු බෙදා දීම යටතේ වූ කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වැඩසටහන 2025 ඔක්තෝම්බර් ඉකුත් 14 වැනිදා සහ 16 වැනිදා යන දෙදින පෙ.ව. 10.00 ට කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මුල්කර ගනිමින් එම සංගම් මූලස්ථානයේදී පැවැත්විණ. ඊට අමතරව එම වැඩසටහනට සමගාමීව සෙසු දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් 24 ම මුල් කර ගනිමින් එකම වෙලාවට මෙම උපකරණ එකවර බෙදාදීමට කටයුතු යෙදීම මෙහි ඇති සුවිශේෂීතාව විය.

‘ජාතික සංවර්ධන ගමන් මඟ’, ‘ජාතික ගමන් මඟ’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසරෙන් වසර ග්‍රාමීය මට්ටමින් ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑමට හා ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ක්‍රිකට් උපකරණ සහ යටිතල පහසුකම් සැපයීමේ ස්ථාවර වාර්ෂික මෙහෙයුමක් දියත් කරමින් සිටින අතර ඒ මගින් වසරින් වසර පාසල් දහසකට අධික සංඛ්‍යාවකට සහාය ලබා දෙනු ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here