කඩාගෙන බිඳගෙන පහළට ආපු ඩක්කුව ගස් ගල්වල හැප්පිලා පෙරළිලා ගියා

0
5

‘මේ ඩක්කුවේ යන්න පුළුවන් හත් අට දෙනකුට විතරයි: ඒත් අපි දහතුන් නමක් ගියා: ඩක්කුව වේගයෙන් පහළට එද්දී මගදී දෙනමක් පැන්නා’ – දිවි ගලවාගත් හිමි නමක් කියයි

හිමිවරු 7 නමකට දිවි අහිමි කළ නාඋයන ආරණ්‍යයේ ඛේදවාචකය

හිමිවරුනි ඔබට නිවන දුර නොවේවා

දිවයින සාතිශය සංවේගය

“ආරණ්‍ය සේනාසනේ පහළ තිබුණු ආගමික වතාවත් ඉවර වෙලා අපි දහතුන් නමක් කඳුමුදුණේ කුටිවලට යන්න කේබල් ඩක්කුවට නැග්ගා. කඳු මුදුනට කිට්ටුවෙද්දි ඩක්කුව එක පාරටම පාලනයෙන් ගිලිහිලා හෙමින් හෙමින් පහළට ආවා. ටික දුරක් ඇවිත් ඒක කඩාගෙන බිඳගෙන වේගයෙන් පහළට ආවා. හාමුදුරුවරු විලාප තිබ්බා. බේරගන්න කියලා කෑ ගැහුවා. අන්තිමේදී ඩක්කුව ගල්වල ගස්වල හැප්පිලා පෙරළිලා ගියා. අපි සීසීකඩ විසිවුණා. කළුවරේ මොනවා වුණාද දන්නේ නැහැ” යැයි නාඋයන ආරණ්‍යයේ ඛේදවාචකයෙන් දිවිගලවාගත් හිමිනමක් කියා සිටියේය.

මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ පෙරේදා (24දා) රාත්‍රියේ සිදුවූ මුළු රටම කම්පාවට පත් කළ ඛේදවාචකයෙන් විදේශ හිමිවරු තුන්නමක් ඇතුළු හිමිවරු හත්නමක් අපවත් වූහ.

සිද්ධියේදී අපවත්වූ හිමිවරුන් මෙසේය. රුසියාවේ ධම්මරන්සි හිමි (47), රුසියාවේ ධම්මරක්ඛිත හිමි (34), ඉන්දියාවේ ධම්ම ගවේශි හිමි (34), නාවලපිටිය උත්තරනන්ද හිමි (27), උඩවලවේ සත්ත සුමන හිමි (41), නුගේගොඩ විපස්සි හිමි (37), මල්වානේගම සමිද්ධ හිමි (47).

තුවාල ලබා ප්‍රතිකාර ලබන්නේ ගල්නෑවේ පඤ්ඤාදීප (36), රාජගිරියේ ලෝකනිති (39), පොකුණුවිට තමරසමාහිත (26), උකපානේ චන්ද්‍රසිරි (35), පන්නිපිටියේ ඉන්ද්‍රභාෂිත, ඉද්දවත්තේ සරණංකර යන හිමිවරුය.

මෙම ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩසිටින හිමිවරුන් දශක 2ක් තිස්සේ මෙම කේබල් ඩක්කුව යොදාගෙන සිය කුටි වෙත වැඩම කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

මෙම මාරක අනතුරින් තුවාල ලබා දිවි ගලවාගත් ආරණ්‍ය වාසී හිමිනම මෙසේද කියා සිටියහ.

ආරණ්‍යයේ පහළ ආගමික වතාවත් අවසන් වෙලා අපි ඉහළ කුටිවලට යන්න පිටත් වෙද්දි රෑ 9.00 ට විතර ඇති. සාමාන්‍යයෙන් මේ ඩක්කුවේ යන්න පුළුවන් හත් අටදෙනකුට විතරයි. ඒත් අපි දහතුන් නමක් කේබල් ඩක්කුවට ගොඩ වුණා.

කේබලය කැඩී….

කඳුමුදුනට කිලෝමීටරයක් විතර දුර තියෙනවා. කේබල් ඩක්කුව බර වැඩි නිසා ඉහළට ගමන් කළේ ගොඩක් හෙමින්. කඳු මුදුනට ළංවෙද්දි එක පාරටම ඩක්කුව පාලනයෙන් ගිලිහුණු බව අපට දැනුණා.

මුලින් හෙමින් හෙමින් පහළට ආව ඩක්කුව ටික වෙලාවක් යද්දි කඩාගෙන බිඳගෙන වේගයෙන් පහළට එන්න ගත්තා. ඩක්කුවෙ හිටිය හිමිවරුන් දෙනමක් මගදි ඩක්කුවෙන් බිමට පැන්නා.

කළුවරේම කඩාගෙන ආව ඩක්කුව ගස්වලයි ගල්වලයි හැප්පිලා පෙරළිලා ගියා. හාමුදුරුවරු සීසීකඩ විසිරිලා හිටියේ. හැමෝම විලාප තියලා කෑගහනවා. ටික වෙලාවකට පස්සේ පහළ ආරණ්‍යවල හිටපු හාමුදුරුවරුයි ගමේ මිනිස්සුයි ඇවිත් අපිව රෝහල්ගත කරන්න අරගෙන ගියා. කඳු මුදුනේ තැන්තැන්වල විසිවෙලා හිටිය හාමුදුරුවරු බරපතළ තුවාල ලබලා හිටියේ. එයාලව පහළට ගේන්න මිනිස්සු ලොකු මහන්සියක් ගත්තා.

හිමිවරුන් අනතුරට පත් වුණේ මෙවැනි ඩක්කුවක ගමන් කරද්දී ය.

ප්‍රදේශවාසියෙක් මෙසේ පැවැසීය.

එක් තැන භික්ෂුන් වහන්සේලා වේදනාවෙන් කෑගසමින් වැටී සිටියා. හැම තැනම භික්ෂුන් වහන්සේලා විසිවෙලා හිටියා. කන්ද උස වැඩි නිසා අනිත් පැත්තෙන් උන්වහන්සේලාව අත්වලින් ඔසවගෙන ගොස් වාහනයක දමා රෝහලට රැගෙන ගියා.

අනතුරින් තුවාල ලැබූ හිමිවරුන් සය නමක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් හිමිවරුන් දෙනමකගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන් 450 නමක් භාවනානුයෝගීව වැඩවාසය කරති. නාඋයන ආරණ්‍යයේ කඳුමුදුනේ කුටි රැසක හිමිවරු විශාල පිරිසක් භාවනානුයෝගීව සිටිති. එම හිමිවරුන්ට පහළට ඒමට සහ දායක දායිකාවන්ට දානය රැගෙන යෑමට පහසු කරවීම සඳහා කිලෝමීටරයක් පමණ දුරක් කේබල් ඩක්කුවක් නිර්මාණය කර ඇත.

මීට වසර 10 කට පමණ පෙර මෙම කේබල් ඩක්කුව ස්ථාපිත කළ අතර එහි එකවර ගෙන යා හැක්කේ කිලෝග්‍රෑම් 500 ක් පමණක් බව පොලිසිය පවසයි.

එහෙත් සිද්ධිය වූ දින එම බර සීමාව ඉක්මවා හිමිවරුන් 13 නමක් කේබල් ඩක්කුවේ ගමන් කර ඇත. විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට අදාළ බර සීමාව ඉක්මවා කේබල් ඩක්කුවට හිමිවරුන් ගොඩවීම නිසා එහි කේබල් කැඩී යෑමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ කේබල් ඩක්කුව කඳු මුදුනේ අඩි 500 ක පමණ උසින් තිබී ඇත. කේබල් කැඩී යෑම නිසා ඩක්කුව වේගයෙන් පහළට ගමන් කර එය ගල්වල ගස්වල වැදී පෙරළී ගොස් තිබේ.

කඳුමුදුනින් විශාල ශබ්දයක් ඇසීම නිසා ආරණ්‍යයේ භාවනානුයෝගීව සිය හිමිවරුන් සහ ප්‍රදේශවාසීන් එය පරීක්‍ෂා කරද්දී කේබල් ඩක්කුව පෙරළී හිමිවරුන් විලාප නඟමින් කෑගසමින් සිටිනු දැක ඇත.

ඩක්කුව ගල්වල සහ ගස්වල වැදීම නිසා එහි සිටි හිමිවරුන් දැඩි ලෙස තුවාල ලබා ඇති අතර එම හිමිවරුන් ආරක්‍ෂාකාරීව පහළට ගැනීම දැඩි දුෂ්කර කටයුත්තක් වී ඇත.

තුවාල ලැබූ හිමිවරුන් පහළට ගෙනයන විටත් තුන්නමක අපවත්වී සිටි අතර අනෙක් හිමිවරුන් සිව් නම අපවත්වී ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුවය.

මෙම මහා ඛේදවාචකය සැලවීමත් සමගම කුරුණෑගල, මැල්සිරිපුර සහ පන්සියගම පොලිස් ස්ථානවල නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය වෙත ගොස් තුවාල ලැබූ හිමිවරුන් ප්‍රතිකාර සඳහා රැගෙන යෑමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. මෙම ඛේදවාචකයෙන් අපවත්වූ හිමිවරුන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු යොදන බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.

හේමන්ත රන්දුණු, ප්‍රදීප් සමරකෝන්, නෝමන් පලිහවඩන

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here