කටට කෙළ උණන විදියට උයන්න සිංහලෙන් කියාදෙන සුපිරිම යූටියුබ් කුකින් චැනල්ස් 5ක්

0
25


ඉවුම් පිහුම් සමහර අයට විනෝදාංශයක් උනාට සමහර අයට බුදු කට්ටක්නෙ. හොද්දක් හදන්න ගියත් ගානට කිරලා මැනලා දැම්මේ නැත්තම් පොල් ගෙඩියක අලාබෙ උනත් දැන් දරාගන්න අමාරුයි. ඉස්සර කෑමක් හදන්න ගියාම ගුණසේන සූපශාස්තරේ පෙරළාගෙන අඩව් ඇල්ලුවට දැන් ඉතින් ඔය වැඩ අල්ලගන්න එක සූපින්. ඇයි ඔක්කොම ඉන්ටනෙට් එකේ තියෙනවානේ . ඒ නිසා උයනවා කියලා කියන්නේ හරිම ජොලි වැඩක් . හැබැයි ගොඩක් මේ වගේ දේවල් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.

පාට පාට වෛවාරණ දිවත් උළුක් වෙන විදියට නම කියවෙන කෑම ගැන ඕවයේ තිබ්බත් දන්නා භාෂාවෙන් උගන්නනවා වගේ නැහැනේ. දැන් හිතන්නකෝ කෑමක් හදන්න අවශ්‍ය කරන අඩුම කුඩුම අපේ රටේ හද්ද පොෂ් කඩේක උනත් නැති ඒවා නම් කෑම හැදිල්ල එතනින් ම ඉවරනේ. ඒ නිසා අපි අද  කතා කරන්න යන්නේ දන්න සිංහලයෙන් උයන්න උගන්වන යූටියුබ් චැනල් කීපයක් ගැන.

 

1. Anoma’s Kitchen

උයන්න මෙලෝ ආසාවක් නැති කෙනෙක්ට වුණත් උයන්න ආසා හිතෙන විදියට කෑම හදන ඇන්ටි කෙනෙක් තමයි මේ චැනල් එකේ අයිතිකාරිණිය. දෙසීයත් පන්නලා තියන කෑම වට්ටෝරු ටිකේ වීඩියෝස් ටික මාර ම පිළිවෙලයි. ප්‍රසන්නව, හරිම කාරුණික විදියට උයන හැටි උගන්වන නිසා ඉව්වේ නැතත් ආසාවෙන් බලන් ඉන්න පුළුවන්. කිරි හොද්දේ ඉඳන් බිස්කට් පුඩිමකට නැත්තම් ස්පගැටි එකක් හදාගන්න තැනට වෙනකම් ලොකු විවිධත්වයක් මේ චැනල් එකේ තියනවා.

 

2. Ape Amma

ඉතින් නමෙන්ම හිතාගන්නකෝ කොහොම ඉවිල්ලක් උයනවා ඇතිද කියලා. ඇත්තටම අම්මා කෙනෙක් පොඩි දරුවෙක්ට කියලා දෙනවා වගේ පුදුම පිළිවෙලට ලේසියෙන් කෑම හදන විදිය මේ චැනල් එකෙන් සිද්ධ වෙනවා. ඒ නිසාම මේ චැනල් එක බලන ගොඩක් දෙනෙක් ඉන්නවා.

 

3. Freshfood.lk by Keels Super

කීල්ස් එකේ යූටියුබ් චැනල් එකේ තමයි මේ රෙසිපි ටික තියෙන්නේ. Freshfood.lk කියන වෙබ්සයිට් එකට ගියත් පිළිවෙලට වීඩියෝස් ටික බලාගන්න පුළුවන්. අනවශ්‍ය වැල්වටාරම් නැතුව ඉවිල්ල ගැන විතරක් අවධානය යොමු කරළා තමයි මේ වීඩියෝස් හදලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් දෙනා මේ චැනල් එකත් බලනවා.

 

4. Hela Bojun

නමෙන් ම තේරෙනවා ඇතිනේ මෙයාලාගේ ඉවුම් පිහුම් ගැන. ලංකාවට ආවේණික කෑම ගැන විශේෂ අවධානයක් දීලා කරපු රෙසිපි තමයි වැඩියෙන් ම තියෙන්නේ. ඉඹුල් කිරිබත්, අලුවා, කොස් ඇට අග්ගලා, අච්චාරු වගේ ලංකාවේ උදවිය කාලාන්තරයක් තිස්සේ හදන කෑම සරලව කියලා දෙනවා. කුකින් චැනල් එකකට වඩා වැදගත්කමක් මේ චැනල් එකේ තියනවා.

 

5. Chef Duminda

චෙෆ් දුමින්දගේ මුල් කාලේ වීඩියෝස් තිබ්බේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒත් මෑතක ඉඳන් ඔහුගේ වීඩියෝස් සිංහල භාෂාවෙන් කෙරෙනවා. විදේශගත වීම නිසා ඔහුගේ කෑම වට්ටෝරුවලට එහිදීත් ලොකු ඇගයීමක් තියනවා. ශ්‍රී ලංකාවට ආවේණික කෑම බීම වගේම විදේශ කෑමබීමත් අපිට තේරෙන විදියට මේ චැනල් එකෙන් කියලා දෙනවා.

 
Cover Image Source – youtube.com
 

The post කටට කෙළ උණන විදියට උයන්න සිංහලෙන් කියාදෙන සුපිරිම යූටියුබ් කුකින් චැනල්ස් 5ක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here