ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස් කොමිෂන් සභාවෙන් පොලිස්පතිවරයාට පැවරීමට යතියි කියන කතාවත් සමග පසුගිය සතිය තරමක් උණුසුම් විය. ජනමාධ්‍යවල මෙන්ම පාර්ලිමේන්තුවේ ද මෙය ප්‍රධානම මාතෘකාවක් විය. මෙම ලිපිය ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙලිදූව මද්දුම ලියනගේ ජනක ප්‍රිය තෙලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියේය. එසේ සිටිය දී 2021 අගෝස්තු මස 09 වැනිදා පොලිස්පතිගෙන් හදිසි පොලිස් පණිවිඩයක් ලැබිණි. එය මෙසේය.
“මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2021 අගෝස්තු 06 දිනැති අංක 02/08/OIC/02/2021 දරණ ලිපියේ සඳහන් අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරු කිරීම සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝග කරමි.
- ප්‍ර.පො.ප කේ.එම්.එල්. ජනකප්‍රිය – තෙලිකඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා තංගල්ල කොට්ඨාසය වෙත.
මෙම හදිසි ස්ථාන මාරුවෙන් පසු තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර විජිත් කේ මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ 2023 ජුනි 16 වැනිදා විභාගයට ගැනුණු අතර තීන්දුව 2023 දෙසැම්බර් මස 14 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණි. ස්ථානාධිපතිගේ මාරුව ඉහළ අනුමැතියක් යටතේ කළ ද එම අනුමැතියට නිර්දේශ කර තිබුණේ පොලිස්පති චන්දන වික්‍රමරත්න වන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ චන්දන වික්‍රමරත්න මහතා මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවයි.
තෙලිකඩ ස්ථානාධිපතිගේ ස්ථාන මාරුව සිදුවූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමි කිරීමෙන් පසුවය. පොලිස් නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම සහ උසස් කිරීම ආදිය පොලිස් කොමිෂන් සභාවෙන් ඉවත් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දුන් අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ සහ මාරු කිරීමේ බලය පොලිස්පති වෙත පවරනු ලැබීය. පොලිස්පතිවරයා ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය අනුව ස්ථාන මාරුවීම් කරනු ලැබීය.
2022 මැයි 09 වැනිදා සැලසුම් සහගතව ගෝඨාගෝගම සහ මයිනාගෝගම නම් සාමකාමී අරගල ස්ථානවලට පහරදීමෙන් පසු මැති ඇමැතිවරුන් පිරිසකගේ නිවාසවලට හානි කිරීමේ සිද්ධිය අවස්ථාවේදී එම සිදුවීම් නතර කර නොගත් බවට පොලිස්පතිට ආණ්ඩුවේ පිරිස් චෝදනා එල්ල කරන්නට වූහ. ඊට පිළිතුරු ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සඳහන් කර තිබුණේ පොලිස් ස්ථානාධිපතිවරු වැඩි සංඛ්‍යාවක් පත් කළේ දේශපාලනඥයන්ගේ ඉල්ලීමට අනුව නිසා අදාළ ප්‍රදේශවල සිටින්නේ එම දේශපාලනඥයන්ට හිතවත් පොලිස් නිලධාරීන් බවයි. මෙම සිද්ධියෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පොලිස්පතිට නිර්දේශ කළේ අත්දැකීම් සහිත පරීක්ෂක ශ්‍රේණියේ සුදුසු නිලධාරීන් ස්ථානාධිපති තනතුරුවලට පත් කිරීම සුදුසු බවයි.
කෙසේ වෙතත් යළි 21 වැනි සංශෝධනයත් සමග ජාතික පොලිස් කොමිෂන් සභාව ස්ථාපිත විය. ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් පත් කිරීමේ සහ මාරු කිරීමේ බලය පොලිස් කොමිෂන් සභාවට ලැබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පොලිස් කොමිෂන් සභාව පොලිස් කොස්තාපල්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් ස්ථාන මාරු කිරීම සහ විනය සම්බන්ධ කරනු පොලිස්පතිවරයාගේ සිට පහළට නිලධාරීන්ට බෙදා දුන් අතර, ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ බලය සහ සහකාර පොලිස් අධිකාරි නිලයෙන් ඉහළ නිලධාරීන්ට ස්ථාන මාරු කිරීම, උසස් කිරීම ඇතුළු බලතල පොලිස් කොමිෂන් සභාව රඳවා ගත්තේය.
වර්තමාන පොලිස්පතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිෂන් සභාව අතර යම් මතගැටුමක් නිර්මාණය විය. වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම වී තිබුණේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ බලය පොලිස්පතිට තිබිය යුතු බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවේ ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර අවසානයේ නීතිපතිවරයාගේ මතය විමසීම සිදුවිය.
නීතිපතිවරයාගේ අදහස වී ඇත්තේ පොලිස් කොස්තාපල්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් සම්බන්ධ බලය දැනටත් පොලිස්පතිට ඇති බැවින් සහ පොලිස් ස්ථානාධිපතිවරයකු වන්නේ එම පිරිස අතර සිටින පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියකු බැවිනුත්, පොලිස් ස්ථානාධිපති තනතුර විශේෂ පත් කිරීමක් නොවන බැවිනුත් පොලිස්පතිට බලය ලබාදීමේ හැකියාව ඇති බවයි. ඒ අනුව මෙම බලය පැවරීම කරන්නේ නම් ඒ කුමන නිර්ණායක මත ද යන්න ගැන පොලිස් කොමිෂන් සභාව පසුගිය සතිය ආරම්භ වන විටත් සාකච්ඡා කරමින් සිටියේය.
උසස් නිලධාරීන් ස්ථාන මාරු කිරීම ඇතුළු බලතල පොලිස්පතිවරයාට ලබාදීමට යන බව සහ පසුගිය සතියේ මුල පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීම පොලිස්පතිවරයා විසින් කළ බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුවද එහි කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කළේය. එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු මෙසේ කීවේය.
“ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බලතල පොලිස්පති ඇතුළු පිරිසට පවරන්න ව්‍යවස්ථාවෙන් හැකියාව තිබෙනවා. වර්තමාන පොලිස්පතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ පසු කළ චෝදනාවක් තමයි ස්ථානාධිපතිවරු තමන්ට අවශ්‍ය පරිදි මාරු කිරීමට නොහැකිවීම නිසා වෙඩි තැබීම් වගේ ඒවා නතර කර ගන්න අපහසුයි කියන එක. මෙහි ඇත්ත කතාව මෙයයි.”
“දැනටත් පොලිස් කොස්තාපල්වරුන්, සැරයන්වරුන්, උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ස්ථාන මාරු කිරීමේ බලය පොලිස්පතිට තිබෙනවා. පොලිසියක ස්ථානාධිපති කෙනෙක් වෙන්නේ උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස වුණේ ස්ථානාධිපති පත් කිරීම් කියන්නේ විශේෂ පත් කිරීමක් නොවන බවයි. ඒ අනුව මේ බලය පොලිස්පතිට ලබාදීම ගැන සාකච්ඡා කරගෙන යනවා. තවම ගැසට් පත්‍රය නිකුත් කළේ නෑ.”
“එම බලය පොලිස්පතිට ලබා දුනහොත් පොලිස් කොමිෂන් සභාව අභියාචනා විභාග කිරීමේ ආයතනයක් බවට පත්වෙනවා. පොලිස්පතිවරයා අත්තනෝමතික ස්ථාන මාරුවක් කළහොත් ඊට එරෙහිව පොලිස් කොමිසමට අභියාචනා කරන්න පුළුවන්. දැන් තියෙන්නේ පොලිස් කොමිසම ස්ථාන මාරුවක් දුන්නොත් ඊට එරෙහිව පරිපාලන අභියාචනාවිනිශ්චයාධිකාරයට අභියාචනා කළ හැකියි. මේ බලය ලබා දුන්නොත් පොලිස් කොමිසමත් ස්ථානාධිපතිවරුන්ට අදාළව අභියාචනා අහන ආයතනයක් වෙනවා. ඒ වගේම තමයි පොලිස්පතිවරයා දිගින් දිගටම අත්තනෝමතිකව වැඩ කරනවා නම් නැවත බලය කොමිසමට පවරා ගැනීමේ හැකියාවත් තිබෙනවා.”
“පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරද්දි සහ මාරු කරද්දි දැනටත් පොලිස්පතිවරයා තමයි මේ මේ අය මෙහෙම දාන්න කියලා එවන්නේ. ඒ එවන ඒවා ගැන අපි බලලා අනුමැතිය දෙනවා. බොහෝ වෙලාවට පොලිස්පති එවන ඒවට අනුමැතිය හම්බෙනවා. දැනටත් ඒ නිසා ගැටලුවක් නෑ.”
“අපි ඉස්සරහදි පොලිස්පතිට අදාළ බලය දෙන්නේ අත්තනෝමතිකව ස්ථාන මාරු කරන්න නෙමේ. කෙනෙක් ස්ථාන මාරු කරනවා නම් කළ යුතු ආකාරය ගැන අපි රීති හදනවා. ඒ අනුව තමයි පොලිස්පතිවරයා ස්ථානාධිපතිවරුන් මාරු කිරීම කළ යුත්තේ.”
මෙම බලය පොලිස්පතිට පැවරීම මගින් ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය විය හැකි බව පොලිසියේම උසස් පොලිස් නිලධාරීහු පිරිසක් පැවසූහ. කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේ මෙම තීරණය ගැනීමට පෙර තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා විමසීමක් කළත්, මෙලෙස බලය ලබාදීමට ඔවුන් විරෝධයක් නොදැක්වූ බවයි. කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගෙන්ම මේ ගැන විමසීමේදී ඔවුන්ගේ අදහස වූයේ එලෙස බලය ලබාදිය යුතු නැති බවයි.
“මේක බලන්න ඕනා දැන් ඉන්න පොලිස්පති අනුව නෙමෙයි. දැන් ඉන්න පොලිස්පතිවරයා කොහොම වුණත් ඉස්සරහට එන්න ඉන්න අය මේ බලය කොහොම පාවිච්චි කරයි ද දන්නෑ. තනි කෙනෙක් තීරණය ගන්නවාට වඩා පොලිස් කොමිසම තීරණය ගන්න එක තමයි වැදගත්” යැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
පොලිස් ස්ථානාධිපති තනතුර යනු සාමාන්‍ය ස්ථානමාරුවක් පමණක්ම නම් පසුගිය ආණ්ඩු කාලවල දේශපාලනඥයන් තම ප්‍රදේශවල ස්ථානාධිපති ලෙස පත් කර ගැනීමට යම් නිලධාරීන්ට අදාළව ලිපි නිකුත් කරන්නේ නැත. එලෙස ලිපි නිකුත් කරන්නේම ස්ථානාධිපති තනතුර විශේෂ තනතුරක් වන බැවිනි. පොලිස් ස්ථානාධිපතිවරයකුට ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් විමර්ශනවලදී අවශ්‍ය කටයුතු කිරීමටත් නීතියෙන්ම බලය ලබා දී තිබේ. එනම් ස්ථානාධිපතිවරයකු පත් කිරීම යනු හුදු ස්ථානමාරුවක්ම නොව එය විශේෂ පත්කිරීමක් ද වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ස්වාධීන ජාතික පොලිස් කොමිසමක් ස්ථාපිත කිරීමේ පරමාර්ථයම ශ්‍රී ලංකා පොලිසිය ස්වාධීන කිරීමය. එනම් දේශපාලනයෙන් මුදා ගැනීමය. එලෙස පත් කළ පොලිස් කොමිෂන් සභාවක් ගැටලු ඇත්නම් කළ යුත්තේ කොමිසම ස්වාධීන කිරීමට අවශ්‍ය කටයුතු කිරීම මිස මූලික පරමාර්ථයට පටහැනිව නැවත බලය පොලිස්පතිට දීම ද යන්න ගැටලු සහගතය.
මෙම බලය ලබාදීම වැදගත් වන්නේ ඇයිද යන්න ගැනත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයේදී පොලිස්පතිවරයාට සෘජුවම ස්ථානාධිපතිවරුන් පත් කිරීමෙන් වන දායකත්වය ගැනත් අදහස් විමසීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළත් එය අසාර්ථක විය.
පොලිස්පතිවරයාට මෙම බලය ලබාදීම ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ මූලික පරමාර්ථයෙන් පිට යෑමක් වුවද, ඒ ගැන වර්තමානයේ ප්‍රශ්න කරන ඇතැම් දේශපාලනඥයන් ආණ්ඩු කරද්දී පොලිසිය දේශපාලනීකරණය වීම ඕනෑ තරම් සිදුවිය. දේශපාලන වුවමනා මත ඕනෑ තරම් ස්ථාන මාරු කිරීම් සහ වැඩ තහනම් කිරීම් සිදුවිය. එවැනි සිදුවීම්වලදී පොලිස් කොමිසම සිටියේ ද එම දේශපාලන තීරණ සමග වීම විශේෂත්වයකි. සිදු කළ යුත්තේ පද්ධතිමය වෙනසක් මිස හුදු බල හුවමාරුවන් නොවේ.
තරිඳු ජයවර්ධන
Saru FM Media