ඔස්ට්‍රේලියානු කාන්තාවන්ට කඩුලු 10ක සුපිරි ජයක්

0
2

ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට

පන්දු 77කට මුහුණදෙමින් ලකුණු 113ක් නොදැවී ලබාගනිමින් ඇලෙසා හේලි දියත් කළ නායකත්වයේ ඉනිමත්, පොයිබි ලිච්ෆීල්ඩ් නොදැවී රැස්කළ ලකුණු 84ත් හේතුවෙන් 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 17 වන තරගය ලෙස පැවැති ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 10ක අති විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වූවාය.

පෙරේදා (16 දා) විශාඛාපට්ටම් හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පැමිණි බංග්ලාදේශයට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 198ක් පමණි.

ඒ අනුව ලකුණු 199ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 24යි පන්දු 5ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 202ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සෝබනා මොස්ත්‍රි පන්දු 80කට මුහුණදෙමින් හතරේ පහර 9ක් සමග ලකුණු 66ක් ලබාගැනීමට සමත්වූ අතර ඊට අමතරව රුබ්යා හේඩර් ලකුණු 44ක් ලැබීය.

පන්දු යැවීමේදී ඇලනා කිංග් ලකුණු 18කට කඩුලු 2ක්, ජෝර්ජියා වේර්ම් ලකුණු 22කට කඩුලු 2ක්, ඇනබෙල් සදර්ලන්ඩ් ලකුණු 41කට කඩුලු 2ක් සහ ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 48කට කඩුලු 2ක් බිඳහෙළීය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ඇලෙසා හේලි පන්දු 77කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 113ක් ලබාගැනීමට සමත්වූ අතර, එම ඉනිමට හතරේ පහර 20ක් අන්තර්ඝතව තිබිණි. ඊට අමතරව පොයිබි ලිච්ෆීල්ඩ් පන්දු 72කට මුහුණදෙමින් හයේ පහර 1ක් සහ හතරේ පහර 12ක් සමගින් නොදැවී ලකුණු 84ක් ලබාගැනීමට සමත්වූවාය.

තරගයේ වීරවරිය ලෙස ඇලෙසා හේලි සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here