ඔසප් සමයේ දී කාන්තාවන් වෙනදාට වඩා කෝපයට පත් වන්නේ ඇයි?

0
12


වැඩිවිය පත් වූ එනම් ප්‍රජනන හැකියාවෙන් යුතු කාන්තාවන් බොහොමයක් ඔසප් සමයේදී දැඩි නොසන්සුන්බවකින් සහ නිතර තරහා යන සුළු ගතියකින් සිටින බව ඔබ නිරීක්ෂණය කර ඇති. එසේ වන්නේ ඒ දිනවල ඇති ශාරීරික අපහසුතා පමණක් නිසා නොවෙයි. නිසි අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක වීමෙන් මෙම තත්ත්වය ඉතා සාර්ථක ව මැඩ පවත්වන්නට පුළුවන්.

ඔසප් චක්‍රයේදී කාන්තා සිරුරේ හෝමෝන වෙනස්වීම් රාශියක් සිදු වෙනවා. චක්‍රය ආරම්භයේදී ඩිම්බයක් පිට වීමත් සමඟ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ස්වභාවික ව පහළ යනවා. එය සෙරටොනින් මට්ටම කෙරේ ද සෘජුවම බලපානවා. සෙරටොනින් යනු සතුට ඇති කරන හෝමෝනයක් ලෙසයි හඳුනාගැනෙන්නේ. ඒ අනුව සෙරටොනින් මට්ටම පහළ බැසීම නිසා දුක්මුසු විලාසයක් හා කෝපයට පත් වීමක් අපේක්ෂා කළ හැකියි.

කැල්සියම් අඩංගු ආහාර ගැනීම මෙම තත්ත්වය පාලනය කිරීමට යොදා ගත හැකි බව සායනික ව තහවුරු කර තිබෙනවා. තද කොළ පැහැ එළවලු, කිරි, චීස්, යෝගට් වැනි කැල්සියම් සපිරි ආහාර භාවිතය මෙම තත්ත්වය සමනය කරගන්නට ඔබට උදව් වෙනවා. 

විටමින් B6 අඩංගු ආහාරත් මේ සඳහා ඉතා ගුණදායකයි. කෙසෙල් ගෙඩි, අලිගැටපේර, මාලු සහ මස් වලත් විටමින් B6 බහුලව අඩංගු වනවා. 

අධික තෙල්, පිටි, සීනි සහිත ආහාරත් ඔබව නොදැනුවත්ව ම නොසන්සුන් කරනවා. එමගින් කෝපය ඇතිවන්නට පුළුවන්. අවම වශයෙන් මේ දිනවලදීවත් වැඩිපුර නැවුම් එළවලු පලතුරු භාවිතයට යොමුවෙන්නට හැකිනම් වඩාත් හොඳයි.

ව්‍යායාම් වල යෙදීම මගින් ඔබේ සෙරටොනින් මට්ටම ඉහළ නංවා ගත හැකි වනවා. දිනකට විනාඩි තිහක්වත් ව්‍යායාම් වල යෙදෙන්නට ඔබට හැකි නම් ඔසප් සමයේ නොසන්සුන්බව තව දුරටත් ගැටලුවක් නොවෙයි.

සුව නින්දක් බොහෝ ගැටලු නිරාකරණයට මග පාදනවා. අවම පැය අටක නින්දක් ඔසප් සමයේදීවත් ලබාගන්නට හැකි නම් මානසික පීඩාව සමනය වී සුවපහසු මනසක් ලබන්නට හැකි වෙනවා.

මේ කිසිවකින්වත් ඔබේ අපහසුතා සුව නොවේ නම් ඔබේ නාරිවේද වෛද්‍යවරයා ළඟ අවශ්‍ය විසඳුම් තිබෙනවා.

ඔසප් සමයේ තරහා යෑම කාන්තාවන් අතර සුලබ කාරණාවක්. පිරිසුදුව සිටීමත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවත් සමඟ නිසි පරිදි කළමනාකරණය කරගත් විට එය සාර්ථක ව පාලනය කරන්නට පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here