ඔසප් කාලයේදි කාන්තාවක් කල යුතු නොකළ දේවල් ගැන හරියට දැන ගනිමු.

0
11


යුවතියක් මල්වර වියට පත්වුණාම ඇයට වැඩිහිටි උපදෙස් විවිධ මත ඉදිරිපත් වෙනවා. ඔසප් හැදුණාම මුල් දින තුන නාන්න එපා, මේ දවස් වලට තෙල් කෑම කන්න එපා වැනි උපදෙස් ලැබෙනවා. මෙවැනි මත උපදෙස් හරහා ඇගේ සිතට වගේම මානසිකව බලපාන්නේ මේ සමය ගැහැණියක වූ නිසා ලැබුණු අඳුරු සමයක් ලෙසයි. සමාජගත වෙලා තියන මේ විවිධ මතයන් සම්බන්ධව තියන වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳ විමසීමට මේ ලිපිය හරහා බලාපොරොත්තු වන්නේ,

මාසික ඔසප් චක්‍රය ලෙස හඳුන්වන්නේ,
දැරිවියක් වී සිටින ජීවන භූමිකාවෙන් මිඳි ජිවිතයේ වැදගත්ම ජෛව විද්‍යාත්මක පසුබිම වන්නේ ඇගේ මල්වර වීම, එනම්, ප්‍රථම ඔසප් චක්‍රය ඇරඹීම ලෙසයි.
මෙහි දී සාමාන්‍යයෙන් සිදුවන්නේ ගර්භාෂය ඇතුළත බිත්තිවල ආවරණය ගැළවි පිටව යාම ඔසප් වීම ලෙස හැඳින්වෙනවා. යුවතිය මල්වර වියෙන් පසු සෑම මසකම දින 28 කට වරක් සිදුවන ස්වභාවික ක්‍රියාවලියක්, සාමාන්‍යයෙන් 30 Ml – 80 Ml ත් අතර ප්‍රමාණයක් රුධිරය පිටවීම සිදුවෙයි.

ආර්ථව සමයේ රුධිරය පිටවීම මඟින් කිසිවිටෙකත් යුවතියක් දුර්වලභාවයට පත්වීමක් සිදු නොවේ. මේ කාලය තුළ දී සාමාන්‍ය ජිවිතයේ නිරතවුණු ලෙස ගත කිරිමේ හැකියාව තිබිය යුතුයි.
හැබැයි නිසි පෝෂණයක් නොලබන කාන්තාවකගේ රුධිර වහනය වීම අඩුවෙන් සිදුවෙන්න පුළුවන්.

මේ දින වල පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඔබ මාංශ අනුභව කරන කාන්තාවක් නම් යකඩ ( අයන් ) බහුල ආහාර වේලක් ( මස්, මාළු, බිත්තර, කරවල ) වැනි ආහාර ලබාගැනීම හොඳයි.
ඔබ නිර්මාංශික නම් ධාන්‍ය වර්ග, පාල වර්ග, නැවුම් එළවළු, වැනි පෝෂණීය ආහාර පාන ලබා ගත යුතුයි. හොඳින් ජලය පානය ද අවශ්‍යයි.
දියවැඩියාව වැනි රෝගයකින් පෙළෙනවා නම් ඔබ ලබා ගන්නා ආහාර පාන පිළිබඳ වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම කළ යුතුයි.
ඒ හැර නිරෝගී කාන්තාවකට මේ කාලය තුළ මේ ආහාර පාන කෑම නුසුදුසු කියලා වෙන්කිරිමක් අවශ්‍ය වෙන්නැහැ.

මානසිකව වගේම කායිකව සුවයෙන් දිනයන් ගත කිරීම තුළ ඔබට මේ කාලයේ දී දැනෙන අපහසුතා මඟ හරවා ගැනීමට රුකුලක් වේවී.
මේ කාලය තුළ බිරිඳගේ මේ මාසික වෙනස්වීම තුළ දැනෙන අපහසුතාවලින් මිඳිමට ඇයට සෙනෙහසින් අත්උදව් දීම වටිනවා. එය ඔබේ පවුලේ මතු සංවර්ධනයට ද අත්වැලක් වේවී.

විවාහ ජිවිතයේ සාර්ථකකත්වය රඳා පැවැත්මට හා ආදරණීය බැඳිම් තවත් වර්ධනය සඳහා අඹු / සැමි සම්බන්ධතාවය වැදගත්. මේ කාලයේ දී ඔබ දෙදෙනාගේ කැමැත්ත, පුද්ගලික රුචිකත්වය මත තීරණය වේ. ඔබ දැනගත යුතු විශේෂ දෙය නම් ඔසප් කාලයේ දී ලිංගික එකතු වීම අනෙක් දින වලට වඩා ලිංගික සම්ප්‍රේෂණ මත ලිංගික රෝග බෝවීමට වැඩි අවධානමක් පවතින බව. මේ නිසා ආරක්ෂාකාරී ලිංගික ක්‍රියාකාරකම් යෝග්‍යයි.

ඔසප් චක්‍ර ක්‍රියාවලිය කියන්නේ රෝගී තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම යහපත් සෞඛ්‍ය පුරුදු වගේම සිරුර පිරිසිදු කර ගැනිම ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.
ස්නානය නැත්නම් සිරුර සේදීම (ඇඟපත සේදීම) යෝනි ප්‍රදේශය පිරිසිදු කර තබා ගත යුතුයි. ඒ සඳහා මඳ උණුසුම් ජලයෙන් සබන් යොදා හොඳින් පිරිසිදු කර ගැනීම කරන්න පුළුවන්.

පැරණි මිත්‍යාමත අනුව මේ දින වල නෑම අගුණ බව පැවසුවත් මේ මත, වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කර නැහැ.
වෙනදාට වඩා මේ දින වල ඔබේ සිරුරේ උෂ්ණත්වය ඉතා ඉහළයි වගේම සිරුරට දැනෙන වෙහෙසකාරී බව නැතිකර ගන්න මඳ උණුසුම් ජල ස්නානය සුදුසුයි. මේ කාලය ඔබේ පිරිසිදු බව නිරෝගී සෞඛ්‍යමත් ජිවිතයට අත්වැලක් වේවී.

මේ කාලය තුළ සුළු අපහසුතා / වේදනා දැනීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ කාලය තුළ ඔබට දරා ගැනීමට නොහැකි ලෙස වේදනාවක් වගේම සාමාන්‍ය දින චර්යා කටයුතු වලට බාධාවක් වෙනවා නම් එවැනි තත්ත්වය සාමාන්‍ය නොවේ. මේ පිළිබඳ අවධානය වැදගත්.
මල්වර වූ මුල්කාලයේ දැනෙන මේ අපහසුතා කාලයක් යද්දී අඩුවෙනවා.

ඔසප් කාලය තුළ වරින් වර වේදනාවක් දැනීමට හේතුව
ඔසප් වීමේ දී ගර්භාෂය ඇතුළත සෛල ස්ථරය මසකට වරක් ගැළ වී රුධිරය සමඟ ඉවත් වෙනවා. මේ රුධිරය පිටතට පැමිණෙන්නේ ගැබ් ගෙළ තුළ ඇති කුඩා සිදුරක් හරහා. ඉතිං මෙහෙම රුධිරය පිටතට පැමිණෙන විට ගර්භාෂය විටින් විට තද වීමට ලක් වෙනවා. මේ නිසා ඔබට වරින් වර වේදනාවක් දැනීමට හේතුව එයයි.

හැබැයි, වේදනාව දැනුණා කියලා ඔබට හිතුමතේ වේදනා නාශක ඖෂධ ලබා ගැනීමට බැහැ. වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම කළ යුතුයි.

මේ කාලයේ දී හොඳ ගුණාත්මක ප්‍රමිතිගත සනිපාරක්ෂක තුවා පැළදීම ගැන සිතීම වැදගත්.

ඔබට යම් ස්ථානයක දී මේ සනිපාරක්ෂක තුවා ඉවත් කිරීම සිදු කිරීමට සිදුවුවහොත් ඒවා ඉවත් කරන බඳුනට දැමීම කළ යුතුයි. ඔබ ඒවා තැන තැන දැමීම හෝ වැසිකිලි වලට නොදෑමිය යුතුයි. ඒ හරහා වැසිකිලි නාල අවහිර වෙනවා වගේම පොදු තැන්වල මේවා ඉවත් කිරීම තුළ තැන තැන දැමීම තුළ බල්ලන් ඇදගෙන යනවා. කාන්තාවක් වූ ඔබමයි එවැනි අවස්ථා වල දී ලැජ්ජාවට පත් වන්නේ.
ඒ වගේම නිවස තුළ ඉවත් කිරිමේ දි පිළිස්සීම නොකළ යුතුයි. එයින් පරිසරයට අහිතකර වායුන් මුදාහැරීම තුළ පරිසරය දුෂණය සිදු වෙනවා. ඉඩකඩ තියන භූමියක නම් වලක් කපා ඒ තුළ වැළලීම නුවණට හුරුයි.
පරිසර හිතකාමී වගේම ඔබේ සෞඛ්‍යයටත් එය වැදගත්.
කාන්තාවකගේ සිරුරේ සිදුවන අසිරිමත් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය ඔබ සතුටින් බාරගෙන ජිවිතය ගෙවීම තුළ මතු දිනක උතුම් මව් පදවිය සඳහා පා තැබීමට හැකිවේවී.

වෛද්‍ය උපදෙස් :
වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිණි,
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය,
රාජාංගණය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here