“ලංකා ඉතිහාසයේ දෙවරක් ඡන්දය ගණන් කර, ජනාධිපතිවරයෙක් තෝරාගෙන නැහැ. නමුත් අනුර සහෝදරයා ලබාගත් ජයග‍්‍රහණයත් එක්ක ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කෙටි කාලයක් තුළ විශාල ජනතාවක් එක්වී 159ක පිම්මක් ලබා ගත්තා. ප‍්‍රභූ පන්තියට බලය ගිලිහෙයි කියලා කිසි දවසක සිතුවේ නැහැ. දැන් අපට විරුද්ධවාදීන් ගොඩක් හිටියත් ශක්තිමත් විපක්ෂයක් නැහැ. ඔවුන්ට නැවත ඔළුව උස්සන්න බැරි බව තේරුම් ගෙන කලින් තිබුණු සතුරුභාවයට වඩා වැඩි සතුරු මානසිකත්වයක් දැන් තිබෙනවා. ලෙනින් කියන විදිහට ප‍්‍රතිගාමිත්වයේ උවමනාව බලය ගිලිහෙන්න පෙර තිබුණාටත් වඩා වැඩි වෙනවා. දැන් අපට පේන්නේ ඒ තත්වය.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ 1971 අරගලයේදී දිවි පිදූවන් සිහි කරමින් ඊයේ (05) මාතරදී පැවති 55 වැනි අප්‍රේල් විරු සමරුවේ ප්‍රධාන සමරු දේශනය පවත්වමිණි.
එහි දී ජනතා විමුක්ති පෙරමුණේ පාලක ලේකම්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත සිදු කළ සම්පූර්ණ සමරු දේශනය පහතින් දැක්වේ,
“වැල්ලවාය පොලිසියට 1971 අපේ‍්‍රල් මාසයේ 05 වැනිදා අපි අද මේ සමරන සහෝදර සහෝදරියන් විසින් පහර දුන්නා. රටේම පොලිසිවලට එකවර පහර දී බලය තමන් අතට අරගෙන ඒ වන විට පැවතුණු පාලනය වෙනස් කර, ජනතාව වෙනුවෙන් සමාජවාදී රටක් ගොඩනැගීම අරමුණු කරගෙන සන්නද්ධ නැගිටීමක් සිදු කළා. එවකට බලයේ සිටි පාලකයන් ආපසු පහර දී දහදාහක් ඝාතනය කර, ඒ සහෝදර සහෝදරියන් හඹා යමින් වධ බන්ධනයට ලක්කර, සිරගත කර, ඒ සහෝදර සහෝදරියන්ගේ පවුල්වල දේපළ ගිනි තබා මහා සංහාරයක් කළා. ඒ ආරම්භක දිනය මූලික කරගෙන අපේ සහෝදර සහෝදරියන් සිහිපත් කිරීම වගේම ඒ පාලකයන්ගේ කි‍්‍රයා කලාපය තේරුම් ගෙන වර්තමානයේ අපි හමුවේ පවතින අභියෝග පරාජය කිරීමට ඒ අතීතයෙන් ශක්තියක් ලබා ගන්නත් මේ සැමරුම පවත්වනවා. අපිට මෙතන කතා කරන්න තිබෙන්නේ දේශපාලනය. දේශපාලනය කියන්නේ බෙදුනු දෙයක්. බෙදුණු සමාජය පිළිබඳව අපේ පක්ෂයේ සහෝදර සහෝදරියන්ට දේශපාලන දැනුම ලබා දෙන්න. අපි ලබාදෙන අධ්‍යාපනය පන්ති පහ කියලා අදත් හඳුන්වනවා. අපට 71න් ලැබුණු දායදයක් ලෙස පන්ති පහ අධ්‍යාපනයේ මූලික පදනම මත කාලීනව කරුණු වෙනස්වීම් සිදුකර තිබෙනවා. අපි අත්අඩංගුවට ගත්ත කාලයේ එල්ලලා ගැහුවේ පන්ති පහ කරලා තියෙනවද කියලා අහමින්. අපේ දේශපාලනයේ මූලික පදනම අදත් තිබෙන්නේ ඒ සහෝදර සහෝදරියන්ගේ උරුමයෙන්. 71 ආරම්භ කළේ සටනක්. අපි සමරන්නේ අපේ පැත්තේ සහෝදර සහෝදරියන්. එදා අනෙක් පැත්තේ සිටි අය අදත් වෙනස් විවිධ ස්වරූපවලින් අනෙක් පැත්තේ සිටිමින් ඒ සටනම ඉදිරියට යමින් තිබෙනවා.
කිසිම බෙදීමක් නැතිව තිබුණු මුල්ම සමාජය ප‍්‍රාථමික සාමූහික සමාජය කියලා හඳුන්වනවා. ඒ සමාජය බිඳ වැටුණු තැන් සිට ඇති වුණේ බෙදුනු සමාජයක්. පීඩිතයෙක් සහ පීඩකයෙක් වශයෙන් මේ දැනුත් අරගලයක් තිබෙනවා. මේ මූලික බෙදීම මත තිබෙන අරගලය තමයි දේශපාලනය කියන්නේ. අපේ පිළ දේශපාලනය කරන්නේ අනෙක් පිළ පරාජය කරන්න වගේම අනෙක් පිළ දේශපාලනය කරන්නේ අපේ පිළ පරාජය කරන්නයි. දේශපාලනයේ ස්වභාවය ඒක. අපිට සජිත් පිළ, නාමල් පිළ, ඇතුළු තව තව බෙදී සිටින අය පරාජය කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් මතවාදී අරගලයක් වගේම සංවිධානමය අරගලයක් තිබෙනවා. හැමදාම හැම මොහොතේම සංවිධානය වෙමින් ඉදිරියට එන අතර, සමහර කාලවල දුර්වල වීමත්, සමහර කාලවල ශක්තිමත්ව ඉදිරියට ඒමත් සිදුවෙනවා. දැන් අරගෙන තිබෙන බලය පවත්වා ගෙන යන්න ශක්තිමත් කර ගන්න සහ වැඩි දියුණු කර ගන්න අරගලයක යෙදී සිටිනවා. ඒ ගොල්ලෝ, ඒ ගොල්ලන්ගෙන් ගිලිහුණු බලය නැවත ලබා ගන්න අරගලයක සිටිනවා. මේ දෙක හරියට තේරුම් නොගෙන දේශපාලන කරන්න බැහැ. 1965 පටන් ගෙන 71 අපේ‍්‍රල් 05 වැනිදා ප‍්‍රහාරයක් එල්ල කළේ සමාජ විරෝධී ප‍්‍රතිගාමී පීඩකයන්ගේ පිළ පරාජය කර අපේ අතට බලය ගන්න. එදා ඒ කළ අරගලයේ, කැපකිරීමේ ප‍්‍රතිඵලයක් හැටියට අද අපි බලය අරගෙන ඉන්නවා. අපි පරාජය කර තිබෙන්නේ රජ කාලයේ රාජ්‍ය බලය අතේ තියාගෙන සිටි ප‍්‍රභූ පන්තියෙන් පැවතගෙන එන පිරිසක්. රජ කාලයේ රජු ඇමති මණ්ඩලය, නිලමෙලා ප‍්‍රභූවරු ලෙස ඉන්න අතරේ අපි යටත් වැසියන් ලෙස හැඳින් වූවා. යටත් වැසියන්ට කිසිදු අයිතියක් තිබුණේ නැහැ. සුද්දගේ කාලයේ ප‍්‍රභූ පන්තිය රට පාලනය කළා. ප‍්‍රභූ නොවෙන පීඩිත පන්තියේ අපි සිටියා. එයින් නිදහස් වෙන්න 1818, 1848 කැරළි හට ගත්තා. නමුත් අපේ රටෙන් සුද්දාව ගහල පැන්නුවේ නැහැ. ඉන්දියාවේ නම් ගහලා පැන්නුවා.
සුද්දා එක්ක ළඟින් සිටි, සුද්දා විසින්ම වරප‍්‍රසාද දී ගොඩනැඟූ කළු සුද්දෝ අපේ රටේ බිහිවුණා. මේ අයට සුද්දෝ කියලා කියන්නේ ඔවුන්ගේ චින්තනයත් සුද්දන්ගේම වූ නිසයි. සුද්දා අපේ රටෙන් ගියේ 1948 දී කළු සුද්දන්ට බාර දීලයි. “සුද්දා යන්න ගියෙත් නෑ – නොගිහින් හිටියෙත් නෑ” කියලා සුනිල් ආරියරත්න මහත්තයා ලියලා, නන්දා මාලනී ගායනා කළේ මේ තත්වය කියැවෙන ගීතයක්. කළු සුද්දන්ගේ ඔළුව ඇතුලේ සුද්දෝ තවමත් ඉන්නවා. 1948න් පස්සේ අපිව පාලනය කරන්න බාර ගත්තේ ප‍්‍රභූ පන්තියක්. ප‍්‍රභූ නොවෙන අපේ පන්තියට බලය ගන්න 1965දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම ආරම්භ කළා. 71 අපේ‍්‍රල් 05 වැනිදා වැල්ලවාය පොලිසියට පහර දී අපි අද සමරන අරගලය ආරම්භ කළේ ප‍්‍රභූ පන්තියෙන් ප‍්‍රභූ නොවෙන පන්තියට බලය ගන්න. අරගලය එතැනින් ඉවර වුණේ නැහැ. විවිධ ආකාරයෙන් දිගටම ඇවිත් පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ලංකාවේ මුළු ඉතිහාසයෙන් පළමුවැනි වතාවට ප‍්‍රභූ නොවන පන්තියට අතට බලය මාරු කර ගත්තා. අරගල සටන්වලින් පිරිච්ච රටක් අපි. ඒ අරගල ඉතිහාසයම එකතු කරලා ගත්තොත් ප‍්‍රභූ පන්තියෙන්, ප‍්‍රභූ නොවෙන පන්තියට එහෙම නැත්නම් පීඩිතයාගෙන් පීඩකයාට බලය ලබා ගැනීම වෙනුවෙන් දිවි පිදූ ආරම්භක පරම්පරාව අපි අද මේ සමරන්නේ. ඒ සහෝදර සහෝදරියන් පටන් ගත්ත අරගලයේ කොටසක් අද අපේ පරම්පරාව සම්පූර්ණ කර තිබෙනවා. මහා සංඝරත්නය හැමදාමත් මේ පීඩිත පන්තියේ අරගලයත් එක්ක ආශිර්වාදයෙන් සහ කි‍්‍රයාකාරිත්වයන් පළකර තිබෙනවා. ප‍්‍රභූ පන්තිය වෙනුවෙන් මහා සංඝරත්නයෙන් යම් කොටසක් කටයුතු කළා. දේශපාලනයේ විදිහ එහෙම තමයි.
ලංකාවේ මුළු ඉතිහාසයෙන් පළවැනි වතාවට ප‍්‍රභූ නොවන පන්තියට බලය ගැනීමේ න්‍යෂ්ටිය පීඩිතයන් වන අතර, එහෙම නොවෙන පිරිසකුත් මේ ව්‍යාපාරයත් එක්ක ඉන්නවා. ඒ වගේම පාවා දෙන අයත් ඉන්නවා. අපට වර්තමානයේ එල්ල වන ප‍්‍රහාරවලින් අධෛර්යමත් වෙන්න ඕන නෑ. අනෙක් පැත්තට පහර දීමත් එහෙමයි. සටන කියන්නේ ඒකට. අපට දැන් තිබෙන්නේ 71දී තිබුණු අභියෝගය නොවෙයි. සටන් ක‍්‍රමයත් 71 ආකාරයට නොවෙයි. හැබැයි 71න් අපට ගන්න තිබන්නේ ධෛර්යය, ශක්තිය, පසු නොබැසීමේ අධිෂ්ඨානයයි. දැන් අපි ගමට ගියාම ගමේ ජනතාව සම්බන්ධ කරගෙන ගම ගොඩනැගීම අපට පහළින් තිබෙන අභියෝගයයි. ඒ අභියෝගය ජය ගන්න 71 ධෛර්යය එකතු කර ගෙන ඒ අරමුණ දැඩිව සිතේ දරාගෙන අරගලය සාර්ථක කර ගැනීමයි.
ගම ගොඩනැගීම සාරථක කර ගන්න ප‍්‍රජා ශක්ති වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. දැනට අපි පරාජය කර තිබෙන ප‍්‍රතිගාමී බලවේගය නැවත හිස එසවීම නවත්වන්න නම්, මෙතනට එකතු වී සිටින සහ එකතු වී නැති සියලූම දෙනා එකතු වී වැඩකරන්න ඕනෑ. ග‍්‍රාම සේවා වසමකට ඔබෙන් පඩි ලබන රජයේ නිලධාරීන් පස්දෙනෙක්, ගමේ පන්සලේ හාමුදුරුවෝ සහ ගමේ ජනතාවගෙන් තෝරා ගත් විවිධ දක්ෂකම් තිබෙන පරිනත නියෝජිතයන් වගේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලූම දෙනාගේ දියුණුම මානව සම්පත් 25ක් එක්කරමින් ප‍්‍රජා ශක්ති සංවර්ධන වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. චක‍්‍රලේඛ නිකුත් කර, පනත් සම්මත කරමින් ගොඩනඟා තිබෙන මේ සංවිධානයෙන් තමයි ගමේ රිලවුන් පිළිබඳ ප‍්‍රශ්නය, කුඹුරු වගා කිරීම පිළිබඳ ප‍්‍රශ්නය, වෙනත් සංවර්ධන කටයුතු සිදුකිරීම පිළිබඳව ප‍්‍රමුඛතා අනුව පෙළ ගස්වන්නේ. රට ගොඩනඟන්න පිහිටුවා තිබෙන මේ සංවිධානය ශක්තිමත් කර ගැනීම සහෝදර සහෝදරියන්ගේ වගකීමයි.
රට ගොඩනඟන්න නම්, ගමට අධිකරණ බලය ඇතුළු බලය දෙන්න ඕන බව මම මීට කලින් කියා තිබෙනවා. ඒකට එරෙහිව බහුතරයක් දෙනා ප‍්‍රහාර එල්ල කළා. බහුතරයක් ප‍්‍රහාර එල්ල කරන කොට ඒ අදහස නිවැරදි බව දකින අයත් කතා නොකර නිහ`ඩ වුණා. අධිකරණ බලය හැර ගම ගොඩනැගීමේ සම්පූර්ණ බලය ප‍්‍රජා ශක්ති කමිටුවට තිබෙනවා. ග‍්‍රාම සේවා වසමක් ගානේ පොදු ජනතාවට පළවැනි වතාවට බලය ලැබී තිබෙනවා. නීත්‍යානුකූලව ලබා දී තිබෙන බලය විතරක් නොවෙයි, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් පවා වෙන්කර දෙනවා. එහෙම නම් ගම හදා ගන්න ඕනෑ ජනතාවයි. බලය ලැබිලා තිබෙන්නේ අනුර සහෝදරයාටයි, ලාල් කාන්ත සහෝදරයාටයි සමන්ත සහෝදරයාටයි විතරක්ද? මේ ගැන දේශපාලනිකව හිතන්න. මීට ඉස්සර ජනතාව තමන්ගේ බලය නියෝජිතයාට පවරා අවුරුදු පහක් බලා සිටීම ප‍්‍රභූ වාදයයි. උඩ අයට ඕනෑ ඒවා ගමේ කරන්න සිදු වුණා. එහෙම නම් අනුර සහෝදරයා ජනාධිපති වී පාර්ලිමේන්තුවට 159ක් පත්කර යැව්වා විතරක් හෝ ප‍්‍රාදේශීය සභාවල බහුතරයක බලය පත්කර ගත්තා පමණක් නොවෙයි, ප‍්‍රභූ නොවෙන මේ පාලකයන් විසින් ගමේ ජනතාවටත් බලය ලබාදී තිබෙනවා. අවුරුදු පහක් බලාගෙන ඉන්නවා වෙනුවට දැන් ජනතාව දිනපතා සකී‍්‍රයයි. සිදුකර තිබෙන මේ වෙනස්කම අපේ පන්තිය තවමත් හරියට දන්නේ නැහැ. පාර සංවර්ධනය කිරීම, පරිසර ගැටලූ විසඳීම, වන සතුන්ගේ ප‍්‍රශ්නවලට උත්තර ලබා ගැනීම, කියන සමස්තය වෙනුවෙන් කි‍්‍රයා කරන්න ගමේ ජනතාවට මුදල් ප‍්‍රතිපාදන පවා ලබා දෙමින් තිබෙනවා.
මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න බෑ කියන පසුගාමී ආකල්ප තිබෙනවා නම්, අපේ‍්‍රල් විරුවන්ගෙන් ආදර්ශ ගන්න ඕනෑ. 71 පටන් ගත්ත වැඩෙන් කොටසක් අපි සම්පූර්ණ කර තිබෙනවා. ජාතිවාදය නැති, මිනිසුන් එකිනෙකාට ආදරය කරන, කුහකත්වය නැති සමාජයක් ගොඩනැගීමත් අපි සිදුකරන්න ඕනෑ. කොට්ඨාස සභාව කියන්නේ පක්ෂයේ සංවිධානය. ප‍්‍රජා ශක්ති කියන්නේ සරල අර්ථයෙන් කීවොත් ගම ගොඩනඟන ගමේ පාර්ලිමේන්තුවයි. මේ බරෙන්, වගකීමෙන් අපේ පන්තිය මේ වැඩපිළවෙළ ගන්න ඕනෑ. පහළින් තිබෙන අභියෝගය මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.
ඉහළින් තිබෙන අභියෝගයට හොඳම උදාහරණය ලෝකයේ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයයි. ගෝඨාභයගේ කාලයේ ඉන්ධන අර්බුදයක් ආවේ රටේ ජනතාවගේ සල්ලි කොල්ල කෑම නිසයි. අද අර්බුදය ඇති වී තිබෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධයක් නිසයි. මේ යුද්ධය තුළත් ලෝකයේ බොහෝ රටවල්වලට වඩා ලස්සනට අපේ පාලනය යටතේ තෙල් ගැටලූව කලමනාකරණය තිබෙනවා. වැඩ බෑ කියපු, පලපුරුද්දක් නෑ කියූ අපි තෙල් ප‍්‍රශ්නය විතරක් නොවෙයි, පොහොර ප‍්‍රශ්නය පවා කලමනාකරණය කරමින් යනවා. වී අස්වනු නෙලන්න ගොවියාට තෙල් ලීටර් 15ක් ලබාදී පස්සේ ඒක ලීටර් 30 දක්වා වැඩි කළා. අපි තෙල් දුන්නේ ට්‍රැක්ටර් හිමියාට නොවෙයි, ගොවියාට. රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කරන්න ලෝක යුද්ධය තුළ පවා අපි කි‍්‍රයා කරමින් සිටිනවා. නමුත් අපි හැමෝටම යම් කැපකිරීමක් කරන්න වෙනවා. සජිත්ලාට, නාමල්ලාට නොතේරෙනවා වගේ විවිධ ප‍්‍රකාශ කළාට ජනතාව ඒ බව හොඳින් තේරුම් ගෙන සිටිනවා.
2022 දී ගෝඨා ගෝ හෝම් කියලා අරගලයක් මේ රටේ ජනතාව පටන් ගත්තා. ප‍්‍රංශයේ අනුර ගෝ හෝම් කියලා දෙයක් පටන් ගෙන තිබෙනවාලු. ඒවා කවුද ගණන් ගන්නේ. වර්තමාන තත්වය ආණ්ඩුවේ වැරැද්දක් බව කියා ගන්න පරාජිත බලවේග උත්සාහ කරනවා. ඒක කිසිදා සාර්ථක වෙන්නේ නැහැ. 1971 දී අරගලය ජයග‍්‍රහණය කළා නම් අද වගේ අමාරු වෙන්නේ නැහැ. ඒ කාලයේ ලෝකයේ සමාජවාදී රාජ්‍ය පද්ධතියක් තිබුණා. අද සමාජවාදය කියන්නේ මතයක් විතරයි. ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වීම ඉතාමත්ම දුර්වලයි. නමුත් අපි මතවාදී වශයෙන් ඒ අරමුණේ සිටිමින් ප‍්‍රායෝගිකව ලෝකයේ පවතින තත්වයත් එක්ක අධිරාජ්‍යවාදයට ගැටගැහිලා ඉන්නේ. බල ශක්තිය පවත්වාගෙන යන්නේ අධිරාජ්‍යවාදීන්, පොහොර සැපයීම රැඳිලා තිබෙන්නේ අධිරාජ්‍යවාදීන් අතේ. මේවාට විසඳුම් සොයා ගැනීම අපට ඉහළින් තිබෙන අභියෝගයි.
හිරු එළිය, සුළං බලය ලබාගෙන රට ගොඩනැගීමේ අභියෝගය මේ මොහොතේ අපට තිබෙනවා. මේ අභියෝග එක්වරම ජය ගන්න බැහැ. අපේ කුඹුරේ ගොයම් වගා කළාට ගොයමට ලබාදෙන ආහාර තිබෙන්නේ අධිරාජ්‍යවාදීන් ලබා දෙන පොහොර මතයි. එහෙම නම් අපි අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා ඉන්නේ. මේ තත්වයෙන් ගැලවෙන්න තනිවම අපිට යම් ප‍්‍රමාණයක හැකියාවක් තිබුණත් තනිවම බැරි අධිරාජ්‍යවාදයට විරුද්ධ ලෝකයත් එක්කම ගැටගැසුණු අරගලයක් තිබෙනවා. ඒ අරගලය හැමමොහොතකම ඉදිරියට ගෙන යමින් ප‍්‍රතිගාමීන්ගේ මතවලට යට නොවී ඒ ප‍්‍රචාර පරාජය කිරීමේ වගකීම තිබෙනවා. රජයේ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබෙනවා. පවතින අධ්‍යාපනයෙන් අපට ලබාදී තිබෙන ඔළුගෙඩි බහුතරයක් ආත්මාර්ථකාමීන්. හැමෝම බලන්නේ දොස්තරලා වෙන්න. දොස්තරකමේ අධ්‍යාපනය හොඳයි, ආධ්‍යාත්මය අතිශය පටු පෞද්ගලිකයි. අපේ සමාජය කල්පනා කරන්නෙත් මම ගොඩයන්නේ කොහොමද කියන ආත්මාර්ථකාමී හැඟීමෙන්. ඒ සමාජ මනෝභාවය වෙනස් කරන්න අඩුම වශයෙන් අවුරුදු විස්සක්වත් ශක්තිමත්ව අඛණ්ඩව අපි මේ රට ඉදිරියට ගෙන යන්න ඕනෑ. සමාජයක්, චින්තනයක් වෙනස් කරන්න දිගු කාලීනව අඛණ්ඩ අරගලයක් ඕනෑ. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ වැනි දේවල් රිවස් කරන්නේ ඇයි කියලා සමහර අය අපෙන් අහනවා. ජනාධිපති බලයත් 159ක පාර්ලිමේන්තු බලයත් අරගෙන පෙරළා ගෙන යන්නේ නැත්තේ ඇයි කියලා සමහර අය අපෙන් අහනවා. දේශපාලනය කියන්නේ බුල්ඩෝසරයක් වගේ පෙරළාගෙන යන එක නොවෙයි, සමජයත් ඒ වෙනුවෙන් පෙළ ගස්වාගෙන යාමයි. එහෙම නම් ප‍්‍රජාශක්ති වැඩසටහන ඕනෑ වෙන්නේ පාර හදන්න විතරක් නොවෙයි, මිනිසුන්ගේ චින්තනයත් ගොඩනඟන්නයි. මේ එන සිංහල අවුරුද්දේදී ගමම එකතු වී සාමූහිකව එය සමරන්න ඕනෑ. අපි බලය ගත්තා කියලා අවුරුදු එකහමාරක් යන කොට මොකක්වත් ඉබේ පහළ වෙන්නේ නැහැ. 71 අරගලයෙන් සම්පූර්ණ කර ගත නොහැකි වූ කොටස අපට තිබෙනවා.
සමහරු කියන ආකාරයට 71 දී, 88-89 දී විනාශ කළේ මේ රටේ දියුණුම මානව සම්පත් ටික. ඒ ටික විනාශ කළාට පස්සේ ඊළඟ දියුණුම මානව සම්පත් ටික ජීවිතය සොයා ගෙන රටින් පිටවී ඉතිරි වුණේ කාන්තාරයක්. ආයෙත් මේකට හරි හමන් සභාපති කෙනෙක් පත්කර ගන්න බැරි තත්වයක් තිබෙන්නේ. දියුණු මානව සම්පත් වැනසූ තැන් සිට ගොඩනඟා ගනිමින් ඉදිරියට යාමේ අභියෝගයක් අපට තිබෙනවා. අපේ මේ ගමන සුන්දර ලස්සන එකක් නොවෙයි. වංගු, වෙට්ටු දැමීම්, අත්හැර යෑම්, පාවාදීම් වැනි දේත් තිබෙනවා. ශක්තිය, ධෛර්යය, කැපකිරීම, සාමූහිකත්වය, අභියෝගවලට මුහුණ දීම වගේ දේවල්වලට මනම්පේරි සහෝදරියගෙන්, කමලබන්ධු සහෝදරයාගෙන් කිසිදු නමක් ගමක් නොදන්නා “විප්ලවයට ජය වේවා!” කියලා මැරුණු අයගේ අත්දැකීම් අපට තිබෙනවා.
අපේ සතුරන් මේ වෙලාවේදී ප‍්‍රබල ලෙසම බලන්නේ අපේ ඔළුව අවුල් කරන්න. අපේ නායකත්වය පිළිබඳව අපිව බිඳ වට්ටවන්න. මෙන්න මේ වගේ ප‍්‍රචාරවලදී මොහොතකට වත් නොසැලී “හැකි නම් කරමු – නොහැකි නම්, කෙසේ හෝ කරමු” කියන ආදර්ශ පාඨය ජීවිතයෙන් නිරූපණය කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ලංකා ඉතිහාසයේ දෙවරක් ඡන්දය ගණන් කර, ජනාධිපතිවරයෙක් තෝරාගෙන නැහැ. නමුත් අනුර සහෝදරයා ලබාගත් ජයග‍්‍රහණයත් එක්ක ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කෙටි කාලයක් තුළ විශාල ජනතාවක් එක්වී 159ක පිම්මක් ලබා ගත්තා. ප‍්‍රභූ පන්තියට බලය ගිලිහෙයි කියලා කිසි දවසක සිතුවේ නැහැ. දැන් අපට විරුද්ධවාදීන් ගොඩක් හිටියත් ශක්තිමත් විපක්ෂයක් නැහැ. ඔවුන්ට නැවත ඔළුව උස්සන්න බැරි බව තේරුම් ගෙන කලින් තිබුණු සතුරුභාවයට වඩා වැඩි සතුරු මානසිකත්වයක් දැන් තිබෙනවා. ලෙනින් කියන විදිහට ප‍්‍රතිගාමිත්වයේ උවමනාව බලය ගිලිහෙන්න පෙර තිබුණාටත් වඩා වැඩි වෙනවා. දැන් අපට පේන්නේ ඒ තත්වයයි.
සහෝදරත්වයෙන් රජයේ නිලධාරීන් සමග සහයෝගයෙන් ප‍්‍රජා ශක්ති වැඩසටහන සාර්ථක කර ගන්නවා නම්, ජනතා ද්‍රෝහීන්ට නැවත ඔළුව උස්සන්න ලැබෙන්නේ නැහැ. අපි එකිනෙකා අතර තිබෙන වෙනස්කම් තේරුම් ගනිමින් පොදුවේ එකඟ විය හැකි දේවල් එක්ක ශක්තිමත්ව බැඳී ඉදිරියට යන්න ඕනෑ. වෙනස්කම් තමන් ළඟ තබාගෙන පොදුවේ එකඟ වූ වැඩපිළවෙළ වෙනුවෙන් කැපවීමෙන් කි‍්‍රයා කරන්න ඕනෑ. මියගිය අපේ වීරවරයන් වීරවරියන් ප‍්‍රාර්ථනා කළ අනාගත ලෝකය ගොඩනැගීම වෙනුවෙන් අපි කැපවෙමු. ඒ අධිෂ්ඨානය හදවත් තුළ පුරවා ගෙන මේ සහෝදර සහොරදරියන්ගේ සැබෑ අරමුණු ජයග‍්‍රහණය කරමු.”









1
Saru News
















