ඔබ අමාරුවෙන් diet කළත් සිරුරේ බර අඩු නොවෙන්නේ මේ හේතු නිසයි.

0
13


මේ ලිපිය මොනතරම් diet කලත් බර අඩු වෙන්නෙ නෑ කියල කලකිරීමෙන් ඉන්න ඔබටයි , එහෙමත් නැතිනම් සිරුරේ බර අඩු කරන්න ඩයට් ප්ලෑන් එකක් පටන් ගන්න ඉන්න ඔබට ඒතුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නත් මේ ලිපිය වැදගත් වේවී.

ඔබ මොනතරම් පෝෂ්‍යදායි ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගත්තත් ඒවායෙන් නිසි පෝෂණයක් ඔබේ සිරුරට ලැබෙන්නේ ඔබ තුළ නිවැරදි ආහාර පුරුදු තියෙනවා නම් පමණයි .ඒ වගේම ඔබ මොනතරම් ආහාර පාලනය කලත් ඔබේ බර අඩු නොවෙන්නට ඔබ තුළ ඇති සමහර පුරුදු තදින්ම බලපානවා. නීරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව ඔබේ බර අඩු කරගැනීමට නම් ඔබ අනුගමනය කළ යුතු පුරුදු මොනවද කියලා මේ ලිපියෙන් අපි ඔබට කියනවා .

විජලනය කියන්නේ ඔබට හිතාගන්නවත් බැරි තරම් භයානක දෙයක් .එය හිසරදය , මුත්‍රා සහ වකුගඩු ආබාධ වලට හේතු වන්නට පුළුවන් . නිසි ලෙස සජලීයව සිටීමට නම් ඔබ අනිවාර්යයෙන්ම දිනකට වතුර වීදුරු 8 – 12 අතර ප්‍රමාණයක් පානය කළ යුතුය. ඔබේ ශරීරයේ පෝශ්‍යපදාර්ථ සංසරණය වැඩිදියුණු කිරීමට ,ශරීරයේ විශ ඉවත් කිරීමට ,ආහාර ජීර්ණය වැඩිදියුණු වැඩිදියුණු කිරීමට මෙන්ම ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීමටත් ජලය පානය කිරීම උපකාරී වනවා

උදෑසන ආහාරය යනු ඔබේ ආහාර වේල් අතරින් වැදගත්ම ආහාර වේලයි .ඔබ අවදි වී විනාඩි තිහක් ඇතුළත ඉතා පෝෂ්‍යදායි උදෑසන ආහාර වේලක් ඔබ ලබා ගත යුතුය . එමඟින් දිවා ආහාරය තෙක් ඔබට අවශ්‍ය ශක්තිය ලබාදෙන අතර අනවශ්‍ය කුසගින්නෙන් ඈත්වීමට ඔබට සහාය වෙයි. මෙම උදෑසන ආහාර වේල සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට ඔබ වග බලා ගත යුතුය . හැකිතාක් නැවුම් එළවළු සහ පලතුරු ද අවශ්‍ය නම් මස් හෝ මාළු වර්ගයක් ද මේ ආහාර වේල සඳහා ඔබට ඇතුලත් කරගත හැකිය

ඔබ වෙනත් කටයුත්තක නිරත වෙමින් ,ජංගම දුරකථනය කෙරෙහි හෝ රූපවාහිනිය කෙරෙහි අවධානය යොමු කරමින් ආහාර ගන්නට පුරුදු වී සිටින කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම වැලකිය යුතු පුරුද්දක් ලෙස එය හඳුන්වන්නට පුළුවන් . ඔබ වෙනත් කටයුත්තක නිරත වෙමින් ආහාර ගන්නා විට ආහාරය කෙරෙහි ඔබේ අවධානය නැතිවී ඔබ සීමාරහිතව ආහාර ගන්නට පෙළඹෙනවා. ඔබේ මනස කාර්යබහුල වීමෙන් ඔබේ කුසගින්න අවසන් බවට හැඟවීම ඔබට නොදැනී යනවා . ඒ මගින් ඔබ අනවශ්‍ය ලෙස විශාල ප්‍රමාණයක් ආහාර ගැනීම සිදුවෙනවා. ඒ නිසා ඔබේ ආහාරය කෙරෙහි අවධානය යොමු කරමින් ආහාර හොඳින් හපමින් ආහාර ගැනීම අතිශය වැදගත් .

උදෑසන ආහාර වේලෙන් පසුව දිවා ආහාර වේලට පෙර යම් වෙලාවක ඔබට කුසගිනි දැනීම සාමාන්‍ය දෙයක් . නමුත් එසේ කුසගිනි දැනෙන සෑම මොහොතකම ඔබ කුමක් හෝ ආහාරයට ගත යුතු යැයි නියමයක් නැහැ .එවැනි අවස්ථාවක ඔබට පිරිසිදු වතුර වීදුරුවක් පානය කර තවමත් ඔබට කුසගිනි දැනෙනවා දැයි මද වේලාවක් බලා සිටින්නට පුළුවන්. ඒ වගේම විවේක අවස්ථාවකදී ඔබ චිත්‍රපටයක් නරඹන්නට යනවා නම් ඔබ පොප්කෝන් හෝ වෙනත් ක්ෂණික ආහාර රාශියක් මිලදීගෙන රස විඳිය යුතු නැහැ. ඒ වගේම සාදයකට සහභාගි වන්නේ නම් එහිදී පිළිගන්වන සෑම ආහාරයක්ම ඔබ රස බැලිය යුතුද නැහැ . ඇත්ත වශයෙන්ම ඔබ ආහාර ගත යුතු වන්නේ සැබැවින්ම ඔබට කුසගිනි දැනෙන අවස්ථාවකදී පමණයි . එනම් ඔබ ඔබේ ප්‍රධාන ආහාර වේල ලබා ගත යුතු අවස්ථාවේ දී පමණයි .

ඔබේ ආහාර වේල සලාදයක් අනුභව කිරීමෙන් ආරම්භ කිරීම ඇත්ත වශයෙන්ම ඉතා හොඳ දෙයක් .එයට හේතුව සලාදයක් අනුභව කිරීමෙන් පසුව ඔබේ කුස තරමක් දුරට පිරීම නිසා ඔබ තව තවත් ආහාර ගැනීම එතනින් නතර වීමයි. ඒ වගේම සලාද අනුභව කිරීමේ දීත් සෞඛ්‍ය සම්පන්න ලෙස සකස් කර ගැනීම ද වැදගත් . විශේෂයෙන්ම නැවුම් එළවළු සහ පලතුරු , සැමන්, මස් හෝ මාළු වර්ග එකතු කර ගැනීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න සලාදයක් සකස් කර ගන්නට පුළුවන්

ඔබේ ආහාර වේලට එළවළු තෝරා ගැනීමේදී හැකිතාක් කොළ පැහැති එළවළු තෝරා ගැනීමට වග බලා ගන්න .ඒවා ප්‍රෝටීන ,කැල්සියම් ,තන්තු සහ යකඩ වලින් සමන්විත ඒවා විය යුතුය .තවද කොළ පැහැති එළවළු ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටමට හිතකර බලපෑම් එල්ල කළ හැකි බවද පර්යේෂකයන් පෙන්වා දී ඇත . ඒ වාගේම එක් එක් දිනයන්හිදී එක් එක් වර්ගයේ එළවළු තෝරා තෝරා ගැනීමටත් සැලකිලිමත් වීමෙන් එළවළු ආහාරයට ගැනීමට ඇති රුචිය වර්ධනය කරගත හැකිය .

ප්‍රෝටීන් ශරීරයට අත්‍යවශ්‍ය වන අතර ඒවා අනිවාර්යෙන්ම ඔබේ ආහාර වේලට ඇතුළත් කරගත යුතුය .ඒ වගේම ඔබේ ආහාර වේලෙන් 25% ක් වත් හොඳ ප්‍රෝටීන ඇතුළත් කරගත යුතුය.හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් ආහාරයට ගැනීමෙන් වැඩි කාලයක් ඔබට තෘප්තිමත් බවකින් යුතුව ගත කළ හැකිය .එමගින් ඔබ වරින් වර ආහාර ගැනීම වළක්වයි.
සෝයා බෝංචි, පරිප්පු ,බ්‍රොකලි , ග්‍රීක යෝගට් බිත්තර ,සැමන් සහ මස් වර්ග ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභව වේ .

ක්ෂණික ආහාර සාමාන්‍යයෙන් ඔබේ සිරුරට අහිතකර ලෙස බලපායි .ඒවායේ සිරුරට අහිතකර මේද අඩංගු වේ. කෙටි කෑම, පීසා වර්ග, තෙල් අධික ආහාර වලින් වැලකීම සෞඛ්‍ය සම්පන්න වන අතර එමගින් ඔබට ලෙඩ රෝග රැසකින් වැළකිය හැකිය

එසේම සිසිල් බීම වල අධික සීනි ප්‍රමාණයක් අඩංගු නිසා තරබාරු බව , දියවැඩියාව සහ දන්ත රෝග වලට හේතුවිය හැකිය.

පලතුරු වල ජලය ,තන්තු, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වේ .එම නිසා පලතුරු ආහාරයට ගැනීම හෘද රෝග , දෙවන වර්ගයේ දියවැඩියාව සහ පිළිකා තත්වයන් වල අවදානම අඩු කරයි .

බොහෝ පලතුරු යුෂ සැබෑ පලතුරු වලින් සකස් කරන ලද ඒවා නොවන නිසා ඒවායේ අධික සීනි ප්‍රමාණයක් අඩංගු වනවා .ඒවා පරිභෝජනය මගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකි අතර ඔබ නිවසේ පලතුරු යුෂ සකස් කළත් එහිදී ද පලතුරු වල අඩංගු කැලරි ප්‍රමාණයේ වෙනසක් දැකිය හැකියි . එම නිසා පලතුරු යුෂ පානය කරනවා වෙනුවට හැකිතාක් පලතුරු ආහාරයට ගන්නා ලෙස බොහෝ පෝෂණවේදීන් නිර්දේශ කරනවා .

පෝෂ්‍යදායි ආහාර වේලක් සහ ව්‍යායාම අතර විශාල සම්බන්ධයක් පවතී. ඔබේ මනෝ භාවය වැඩි දියුණු කිරීමට මෙන්ම ,මානසික අවපීඩනය , කාංසාව සහ ආතතිය වැනි හැඟීම් අඩු කිරීමට ව්‍යායාම කිරීම සුදුසුවේ.
ඔබේ අස්ථි සහ මාංශ පේශීන් ශක්තිමත් කිරීමට මෙන්ම ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කිරීමට ,ශරීරයේ ශක්ති මට්ටම වැඩි කිරීමට ,නිදන්ගත රෝග වල අවදානම අඩු කිරීමට සහ සුව නින්දක් ලබාදීමට ඔබට ව්‍යායාම උපකාරී වනවා . එම නිසා සෑම දිනකම විනාඩි 30ක කාලයක් හෝ ව්‍යායාම කිරීම ,ඇවිදීම, දිවීම වැනි ක්‍රියාකාරකමක යෙදීම ඉතා සුදුසු වේ .

මෙවැනි ආහාර පුරුදු ඔබ තුළ ඇති කර ගන්නවා නම් ඔබ ගන්නා ආහාර වලින් නිසි පෝෂණයක් ඔබේ සිරුරට ලබා ගන්නට පුළුවන් පුළුවන් වනවා වගේම ඔබේ ශරීරයේ තියෙන අනවශ්‍ය බර අඩු කර ගන්නත් ඔබට හැකියාව තියෙනවා .
ඉතින් මේ පුරුදු හැකිතාක් ජීවිතේ ට එක් කර ගැනීමෙන් ඔබේ බර අඩු කර ගැනීමේ ඉලක්කය සාර්ථක කර ගන්න ඔබටත් පුලුවන් .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here